වාලච්චේන, තොප්පිගල කැලෑවේ සඟවා තිබියදී පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් සොයා ගත් ස්වීඩනයේ නිෂ්පාදිත, සක්රීය තත්ත්වයේ පවතින රොකට් ලෝන්චර් අවි තුන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව පසුගිය 07 වනදා සොයාගත් මෙම අවි, කිසියම් අපරාධයක් සිදුකිරීම සඳහා ගබඩා කර තිබුණේ ද යන්න පිළිබඳව ආරක්ෂක අංශවල දැඩි සැකයක් මතුව තිබේ.
84mm RCL M2 වර්ගයට අයත් මෙම රොකට් විදින තුන හමුවන අවස්ථාවේදී ග්රීස් යොදා පොලිතීන්වල ඔතා ඉතා සුරක්ෂිතව තිබී ඇත. මීටර් 1000ක පමණ දුරකට ඉලක්කය ලබාගත හැකි මෙම අවි මගින් වාහන, හෙලිකොප්ටර් හෝ යුද රථවලට පවා ප්රහාර එල්ල කළ හැකි බව උසස් නිලධාරියෙක් සඳහන් කළේය. මේවා එල්.ටී.ටී.ඊ. සංවිධානය භාවිත කළ ඒවා බවට සැකකෙරෙන අතර, කිසියම් පිරිසක් විසින් මේවා කලින් වළ දමා තිබූ ස්ථානයකින් පිටතට ගෙන මතුපිට සඟවා තැබුවේ මන්දැයි යන්න පිළිබඳව විමර්ශකයෝ අවධානය යොමු කරති.
පොලිස්පති ප්රියන්ත වීරසූරිය මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ ක්රියාත්මක වන මෙම විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් ඊයේ (09) තොප්පිගල ප්රදේශයට ගොස් ඇත. එම අවි සඟවා තිබූ ස්ථානයට නුදුරින් අලුතින් හෑරූ වළක් ද තිබී ඇති අතර, මෙම අවි රැගෙන ආ පිරිස සහ ඒවායේ අරමුණ අනාවරණය කර ගැනීම සඳහා ප්රදේශය පුරා තවදුරටත් මෙහෙයුම් ක්රියාත්මක වේ.
Divaina

