mediahumanrights.lk
Local NewsNews

නුවරඑළිය මාර්ග යථා තත්ත්වයට: එහෙත් කොත්මලේ නැගෙනහිරට ගුවන් මාර්ගයෙන් සහන

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග රැසක් මේ වන විට වාහන ධාවනය සඳහා විවෘත කර ඇති බවත්, එහෙත් කොත්මලේ නැගෙනහිර, වලපනේ, නිල්දණ්ඩාහින්න සහ මතුරට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රදේශවලට පිවිසීමට ඇතුල් මාර්ග තව දුරටත් අවහිර වී ඇති බවත් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකොන් මහත්මිය පවසයි.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් දිස්ත්‍රික් ලේකම්වරිය මේ බව කියා සිටියාය.

ප්‍රධාන මාර්ග විවෘත කිරීමේ ප්‍රගතිය:

  • යහපත් කාලගුණය: නුවරඑළියේ මේ වන විට කාලගුණය යහපත් අන්දමින් පවතී.
  • විවෘත කළ මාර්ග: මහියංගණය, වලපනේ, රාගල හරහා නුවරඑළිය දක්වා මාර්ගය දැන් වාහන ධාවනයට විවෘතය.
  • කොළඹට ප්‍රවේශය: නුවරඑළිය-හැටන් මාර්ගය මෙන්ම, නානුඔය, හැටන්, ගිනිගත්හේන හරහා කොළඹ මාර්ගය සහ මහනුවර මාර්ගය ද මේ වන විට විවෘත වී ඇත.
  • අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය: මෙමගින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඉන්ධන සහ ගෑස් වැනි භාණ්ඩ දිස්ත්‍රික්කයට ගෙන ඒමට බාධාවක් නොමැති බව ඇය සඳහන් කළාය.

ළඟා විය නොහැකි ස්ථානවලට සහන සැලසීම:

තවදුරටත් ලඟා විය නොහැකි ඇතුල් මාර්ග සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු RDA, යුද හමුදා හා ගුවන් හමුදා සහය ඇතිව සිදු කරමින් පවතී.

  • ගුවන් සහ නාවික සහාය: කොත්මලේ නැගෙනහිර, වලපනේ, නිල්දණ්ඩාහින්න සහ මතුරට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අයත් ළඟා විය නොහැකි ස්ථානවලට ගුවන් මාර්ගයෙන් මෙම දින තුන පුරාවට ද්‍රව්‍ය රැගෙන යාම සිදුවේ.
  • කොත්මලේ විශේෂ මෙහෙයුම: කොත්මලේ ප්‍රදේශයේ ජනගහනය වැඩි නිසා සහ හානිය විශාල නිසා, නාවික හමුදා බෝට්ටුවක් මගින් සතොස ලොරියේ තිබූ අත්‍යාවශ්‍ය භාණ්ඩ අවතැන් වූවන් වෙත ලබා දීමට මේ වන විට කටයුතු කරමින් සිටින බව ඇය පැවසුවාය.

දිස්ත්‍රික්කයේ රාජ්‍ය යාන්ත්‍රණය සහ දේශපාලන නායකත්වය සෑම දිනකම රාත්‍රියේ ආපදා කමිටුවක් ලෙස රැස්වී, ඊළඟ දවසේ ක්‍රියාමාර්ග පිළිබඳ තීරණ ගන්නා බවද දිස්ත්‍රික් ලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.

Related posts

අයවැයෙන් රට නිවැරදි මාර්ගයට යොමු කර තිබෙනවා…

Shiran Viraj

දකුණු අප්‍රිකාවට පහසු ජයක් හිමිකර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන තරඟයට සූදානම්..!

Shiran Viraj

ජනපති රනිල් කියුබා සුරපුරයට..

Shiran Viraj
Translate »