mediahumanrights.lk
International NewsNews

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 29ක තානාපතිවරුන් යළි කැඳවයි

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ “ඇමරිකාව ප්‍රථමයෙන්” (America First) යන ප්‍රමුඛතාවලට පූර්ණ සහයෝගය දක්වන පුද්ගලයින් හරහා ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය ප්‍රතිසංස්කරණය කිරීමේ අරමුණින්, ලොව පුරා විවිධ රටවල සේවය කරන වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රිකයන් 30 දෙනෙකු පමණ යළි කැඳවීමට ට්‍රම්ප් පරිපාලනය පියවර ගෙන ඇත. මෙම තීරණය යටතේ ශ්‍රී ලංකාව සහ නේපාලය ඇතුළු රටවල් අවම වශයෙන් 29 ක සේවය කරන දූත මණ්ඩල ප්‍රධානීන්ගේ සේවා කාලය ලබන ජනවාරි මාසයේදී අවසන් වනු ඇත. පසුගිය බයිඩන් පරිපාලනය යටතේ පත් කරන ලද මෙම නිලධාරීන්ට තම ධුරවලින් ඉවත් වන ලෙස දන්වමින් වොෂින්ටනයෙන් නිල නිවේදන නිකුත් කර තිබේ.

මෙම වෙනස්කම්වලින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ අප්‍රිකානු මහද්වීපයට වන අතර, එහි රටවල් 13 ක තානාපතිවරුන් ඉවත් කරනු ලැබේ. මීට අමතරව, ෆීජි, පිලිපීනය සහ වියට්නාමය ඇතුළු ආසියා ශාන්තිකර කලාපයේ රටවල් හයක ද, යුරෝපයේ රටවල් හතරක ද තානාපතිවරුන් මෙලෙස යළි කැඳවීමට නියමිතය. රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙම පියවර සාධාරණීකරණය කරමින් ප්‍රකාශ කර ඇත්තේ, තානාපතිවරයෙකු යනු ජනාධිපතිවරයාගේ පෞද්ගලික නියෝජිතයෙකු වන බැවින්, ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යා හැකි පිරිසක් පත් කර ගැනීම ඔහුගේ අයිතියක් බවයි. මෙය ඕනෑම පරිපාලනයක සිදුවන සාමාන්‍ය ක්‍රියාවලියක් බව ද ඔවුහු පෙන්වා දෙති.

කෙසේ වෙතත්, මෙම හදිසි වෙනස්කම් සම්බන්ධයෙන් ඇතැම් නීති සම්පාදකයින් සහ ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන් නියෝජනය කරන සංගමය සිය කනස්සල්ල පළ කර ඇත. මෙම නිලධාරීන්ට තම විදේශ සේවා රැකියා අහිමි නොවන නමුත්, ඔවුන්ට වොෂින්ටනය වෙත පැමිණ වෙනත් රාජකාරි සඳහා යොමු වීමට සිදුවනු ඇත.

Related posts

උමා ඔය උමං මාර්ගයේ ජල කාන්දුව තවත් ගමක් ගිල ගන්න සැරසෙයි

Shiran Viraj

පෙන්ටගනය ඇතුළු අමෙරිකානු හමුදා කඳවුරුවල ආරක්ෂාව දැඩි කරයි : විරෝධතා මැද ත්‍රස්ත ප්‍රහාර අවධානමක්

Shiran Viraj

යාපනයේ එළවළු දඹුල්ලට

Shiran Viraj
Translate »