28.4 C
Colombo
2026-09-02
mediahumanrights.lk
Local NewsNews

ජනපති රනිල් කියුබා සුරපුරයට..

“G77 කණ්ඩායම සහ චීනය” රාජ්‍ය නායක සමුළුව ඇමතීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි සතියේ දී කියුබාව බලා පිටත්ව යාමට නියමිතය.

“වත්මන් සංවර්ධන අභියෝග හමුවේ විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනයේ කාර්යභාරය” මැයෙන් “G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුව 2023 සැප්තැම්බර් 15 සහ 16 දෙදින කියුබාවේ හවානා නුවර දී පැවැත්වේ.

“G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුවේ වත්මන් සභාපති, කියුබානු ජනාධිපති මිගායෙල් ඩියෙස් කැනල් (Miguel Diaz-Canel) මහතා විසින් කරන ලද නිල ආරාධනයක් අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊට සහභාගී වෙයි.

මෙම රාජ්‍ය නායක සමුළුවට සමගාමීව ශ්‍රී ලංකාව සහ කියුබාව අතර ද්වීපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ කියුබානු ජනාධිපතිවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය

“G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුව එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව සංවර්ධනය වෙමින් පවතින රටවල් 134කින් සමන්විත විශාලතම අන්තර් රාජ්‍ය කණ්ඩායම වන අතර, එය දක්ෂිණ රටවලට ඔවුන්ගේ සාමූහික ආර්ථික අවශ්‍යතා ප්‍රකාශ කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ ඒකාබද්ධ සාකච්ඡා පැවැත්වීමේ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා අවකාශය සලසයි.

විද්‍යාව, තාක්‍ෂණය සහ නවෝත්පාදනය සම්බන්ධයෙන් පවතින සමකාලීන අභියෝග තක්සේරු කිරීමටත්, විශේෂයෙන් අන්තර් දක්ෂිණ සහයෝගීතාවයෙන් වඩාත් යහපත් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ඒකාබද්ධ විසඳුම් සොයා බැලීමටත්, සංවර්ධනය වෙමින් පවතින රටවලට එක්ව කටයුතු කළ හැකි ආකාරය විමසා බැලීමටත් මෙම සමුළුවෙන් වැඩිදුරටත් අවස්ථාව සැලසෙයි.

ඒ අනුව මෙම සමුළුවේ දී විද්‍යාව, තාක්‍ෂණය සහ නවෝත්පාදනය යන ක්ෂේත්‍රයන්හි වැඩිදියුණු කරන ලද සහයෝගීතාවයක් ගොඩනැඟීම සඳහා දක්ෂිණ රටවලට ප්‍රතිසංස්කරණ සහ නව ප්‍රවේශයන් පිළිබඳ මාර්ගෝපදේශ සපයනු ලබන ‘හවානා ප්‍රකාශය’ ද රාජ්‍ය නායකයන් විසින් සම්මත කර ගැනීමට නියමිත ය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය ඇතුළු විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද ජනාධිපතිවරයා සමඟ මෙම සමුළුවට සහභාගිවීමට නියමිතය.

– ජනාධිපති මාධ්‍ය ඒකකය

Related posts

දේශීය කිරි නිෂ්පාදනයේ අඛණ්ඩ ස්වයං පෝෂිතභාවයට පැලවත්ත කිරි සමාගම කැපවෙයි

Shiran Viraj

බිලියනයක පාඩුව වසරකදී බිලියනයක ලාභයක් වෙලා

Shiran Viraj

මෙරට ආර්ථික වශයෙන් ක්‍රියාශීලි ජනගහනය මිලියන 8 ඉක්මවයි

Shiran Viraj
Translate »