mediahumanrights.lk
BusinessBusiness NewsNews

දසුන් ශානක වගේ වැඩ කරමු..- ජනපති

ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානක ඇතුළු කණ්ඩායම පරාජය ප්‍රයෝජනයට ගනිමින් ආසියානු කුසලානය දක්වා ඉදිරියට යාමට එය ශක්තියක් කරගත් බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එලෙස සිතනවානම් රට ලෝකය ඉදිරියේ ජයග්‍රහණය කරවීම අසීරු කාර්යයක් නොවන බව සඳහන් කළේය.

කණ්ඩායමක් ලෙස සාමුහිකව කටයුතු කිරීම ඔවුන්ගේ ජයග්‍රහණයට ඉවහල් වු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ආසියානු කුසලාන 20යි විස්ස ක්‍රිකට් ශූරතාව සහ දොළොස්වන ආසියානු දැල්පන්දු ශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම් දෙක සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රිඩාවලියේ පදක්කම්ලාභින් ඇගයීම වෙනුවෙන් ඊයේ (16) පස්වරුවේ කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේ පැවති උත්සවය අමතමිනි.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ඉල්ලීම මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය සහයෝගය සංකේතවත් කරමින් ආසියානු ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ සාමාජිකාවන් සඳහා එක් ක්‍රීඩිකාවකට රුපියල් මිලියන 02 බැගින් සහ පුහුණුකරුවන් දෙදෙනෙකු සඳහා රුපියල් මිලියන 02 ක බැගින් පිරිනැමීම මෙහිදී සිදු කෙරිණි.

බ්‍රිතාන්‍යයේ බර්මින්හැම් නුවර පසුගියදා පැවැති 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදි ශ්‍රී ලංකාව පදක්කම් 4ක් දිනා ගත්තේය. පැරා ක්‍රීඩා අංශයේ කවපෙත්ත වීසිකිරීමේ තරගයෙන් පාලිත බණ්ඩාර රිදී පදක්කම දිනා ගත් අතර මීටර් 100 ඉසව්වෙන් යුපුන් අබේකෝන්, කිලෝ ග්‍රෑම් 57 කාන්තා මල්ලවපොර තරගයෙන් නෙත්මි අහිංසා පෝරුතොට හා බර ඉසිලීමේ කිලෝ ග්‍රෑම් 55 බර පන්තියෙන් දිලංක ඉසුරු කුමාර ලෝකඩ පදක්කම් දිනා ගනු ලැබීය.

එම රිදී පදක්කම් ලාභියාට ක්‍රිඩා අරමුදලින් රුපියල් මිලියන 10ක්ද, ලෝකඩ පදක්කම්ලාභියකුට රුපියල් මිලියන 05 ක් ද මෙහිදී පිරිනැමූණු අතර ඔවුන්ගේ පුහුණුකරුවන් සඳහා එම මුදලින් 25%ක වටිනාකමකින් යුත් ත්‍යාග මුදලක් පිරිනැමිණි.

ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංගම්වල මැදිහත්විමෙන්, ඩයලොග් ආසියාටා නිල අනුග්‍රාහකත්වයෙන් සිනමන් හොටෙල් ඇන්ඩ් රිසෝට් සත්කාරක අනුග්‍රාහකත්වයෙන් මෙම ඇගයීම් උළෙල සංවිධානය කෙරිණි.

මාතෘ භූමිය ආසියාවේ ඉහළින්ම ඔසවා තැබු සියලු ක්‍රිඩක ක්‍රීඩිකාවන්ට සිය ප්‍රණාමය පුද කළ ජනාධිපතිවරයා ක්‍රීඩාවේ ජයග්‍රහණයේ කොටසක් දේශපාලනයට ලබාගත් යුගය තමන් නිමා කළ බවත් මෙවර 200% ක්ම ජයග්‍රහණය ඊට කැපවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු සියලුදෙනා හිමිවන බවත් සඳහන් කළේය.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසිංහ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා, දැල්පන්දු සංගමයේ සභාපති වික්ටෝරියා ලක්ෂ්මි යන මහත් මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

Related posts

මෘත දේහ ආදහනය කරන තීන්දුවේ කිසි වෙනසක් නැහැ – පවිත්‍රාගෙන් පිළිතුරක්

Shiran Viraj

රුපියල තවත් කඩා වැටේ.. ඩොලරය 350 ආසන්නයේ…

Shiran Viraj

විල්පත්තුවේ අක්කර 1500ක් සුද්ද කරයි.. කෝමාරිකා වගාවක්ලු..

Shiran Viraj
Translate »