වව්නියාව කුඩාකච්චිකොඩිය ප්‍රදේශයේ පිහිටා ඇති ඓතිහාසික තෝණිගල සෙල්ලිපි වසර 20 කට පමණ පසුව නැවත පිටපත් කරගැනීමේ කටයුතු අවසන් වී ඇති බවටත් සෙල්ලිපි වසාදමා තිබූ පස් ඉවත් කොට මහජන ප්‍රදර්ශනයට විවෘතව පවතින බවට වව්නියාව පුරාවිද්‍යා නිලධාරී කාර්යාලය පවසයි.
යුද්දය හේතුවෙන් 2002 වසරේදී තෝණිගල සෙල්ලිපිය විනාශ වේයැයි පැවති අවධානම හේතුවෙන් වැලි සහ පස් යොදා වසදමා තිබූ අතර පසුව ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලාගේ සහ ප්‍රදේශවාසීන්ගේ දැඩි ඉල්ලීමකට අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් සිදුකරන ලද සාකච්ඡාවකින් අනතුරුව වසදමා තිබූ පස් සහ වැලි ඉවත් කොට නැවත පිටපත් කරගැනීම සිදුවූ අතර එහිදී සෙල්ලිපියේ අක්ෂර වලට කිසිදු හානියක් සිදු නොවී ඇති බවටද පුරාවිද්‍යා නිලධාරීන් පවසූහ.
ලාංකේය ඉතිහාසය සම්බන්ධයෙන් මෙන්ම ශ්‍රීලාංකේය ආර්ථික ඉතිහාසය සම්බන්ධයෙන් සුවිශේෂි තොරතුරු රාශියක් මෙම තෝණිගල සෙල්ලිපි මගින් අනාවරණය වේ.
මෙම ගල් තලාවේ ප්‍රධාන සෙල්ලිපියට අමතරව තවත් සෙල්ලිපි දෙකක් පිහිටා ඇත. ඊට අමතරව වෘත්තාකාර පුරාවිද්‍යා වියුහ 2ක්, කණු පාදම් සහිත ස්ථානයක් සහ පොකුණු දෙකක් අවට දැකගත හැකිය. ප්‍රාග් ඓතිහාසික ශිලා මෙවලම් සාධකද ගල් තලාවේ තැනින් තැන විසිර පවතී.
මෙම සෙල්ලිපිය මහසෙන් රජුගේ පුත් ශ්‍රී මේඝවර්ණාභය රජු (ක්‍රී.ව. 303-331) විසින් කරවා ඇත. එහි ආරාම පාලනය, ආගමික චාරිත්‍ර, ධාන්‍ය තැම්පත් කළ වෙළඳ මධ්‍යස්ථානයක පොළී ක්‍රම සහ මුදල් ක්‍රම පිළිබඳ වැදගත් තොරතුරු රාශියක් අන්තර්ගත වේ . එය වර්තමානයේ බැංකුවකට සමාන ස්ථානයකි. වී සඳහා 50 % ක පොළියක් ද අනෙක් ධාන්‍ය සඳහා 25% ක පොළිවක් ද ගෙවූ බව දක්වයි. එසේම මෙම කාලයේ යල, මහ සහ මැද යනුවෙන් කන්න තුනකට වී වගා කළ බව ලිපියේ සඳහන්ව තිබේ. එමෙන්ම ‘යහිස පවත’ විහාරය වර්තමාන මඩුකන්ද ශ්‍රී දලදා විහාරය බව ඇතැම් විද්වතුන්ගේ පිළිගැනීමයි.
සෙල්ලිපි අක්ෂර පිටපත් කරගැනීමේ අවස්ථාව සඳහා පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් මහාචාර්ය අනුර මණතුංග මහතාගෙ උපදෙස් පරිදි අභිලේකන හා නාණක විද්‍යා අධ්‍යක්ෂක නාමල් කොඩිතුවක්කු මහතාගේ අධීක්ෂණයෙන් අභිලේකන හා නානක විද්‍යා අංශයේ පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරීන් පිරිසක් විසින් තෝණිගල සෙල්ලිපි නැවත පිටපත්කරගැනීම සිදුකරන ලද අතර ඒසඳහා වව්නියාව දිස්ත්‍රීක් පුරාවිද්‍යා කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ආර්.ජී ජයතිලක මහතා, ප්‍රාදේශීය ගවේෂක පියුම් පෙරේරා මිය, පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරී වික්‍රමසිරි පියදාස, සංවර්ධන නිලධාරී අනුරාධ බණ්ඩාර යන අය පූර්ණ සහය ලබා දී ඇත.
කෙසේ වෙතත් ඓතිහාසික තෝණිගල සෙල්ලිපි මහජන ප්‍රදර්ශනය සඳහා වව්නියාව සිවිල් ආරක්ෂක බලකායේ ආරක්ෂාව සහ මගපෙන්වීම් යටතේ සිදුවන අතරම සෙල්ලිපි දැකබලා ගැනීමට පැමිණෙන ජනතාවට පහසුකම් සැපයීමේදී යම් බාධාවන් පවතින බවටද වාර්ථා වෙයි.
එමෙන්ම තෝණිගල සෙල්ලිපි නියමු සැල්ස්මට මුදල් ප්‍රතිපාදන වෙන්වී නොමැති බවටත් එසේ මුදල් ප්‍රතිපාදන වෙන්වන්නේ නම් ජනතාවට පහසුකම් සපයා සේල්ලිපි ආරක්ෂා කිරීමට විධිමත් සැලස්මක් ක්‍රියාත්මක කිරීමට හැකි බවටද වව්නියාව පුරාවිද්‍යා නිලධාරී කාර්යාලය වැඩිදුරටත් පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ