mediahumanrights.lk
Local News News

ලීටර් 33000 තෙල් බවුසරයක් පුච්චන්නයි විරෝධතාකරුන් හැදුවේ.. එහෙම වුනා නම් අද රඹුක්කනක් නෑ…

මහජන ආරක්ෂක හා සංචාරක අමාත්‍ය ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේ දි අද දිනයේ කළ විශේෂ ප්‍රකාශය මෙහි දැක්වෙයි.

මුලින්ම ඊයේ රඹුක්කනදී ඇති වු සිද්ධිය පිළිබඳව අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේත් පෞද්ගලිකව මගේත් කණගාටුව මේ සභාවටත් රට වාසී ජනතාවටත් පළ කරනවා.

ඒ වගේම මේ සිද්ධියෙන් මිය ගිය අයටත්, ඔවුන්ගේ පවුල්වල අයටත්, සිද්ධියෙන් තුවාල ලැබු අයටත්, ඔවුන්ගේ පවුල්වල අයටත් අපේ කණගාටුව පළ කරනවා. ඒ එක්කම තුවාල ලැබු අයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.

ඒ වගේම මේ සිද්ධියේදී නීතිය හා සාමය ආරක්ෂා කරන්න ගිහින් තුවාල වෙලා මේ වන විට රෝහල් ගත වී සිටින ආරක්ෂක නිලධාරීන්ටත් මගේ කණගාටුව පළ කරනවා. ඔවුන්ට ඉක්මණ් සුවය ප්‍රාර්ථනා කරනවා.

රඹුක්කන උද්ඝෝෂණය නිසා පැය 10කට ආසන්න කාලයක් පීඩාවට පත් වුණු පාසැල් ළමුන්, රජයේ සේවකයින් ඇතුළු සාමාන්‍ය ජනතාවට අපේ කණාගටුව පළ කරනවා.

ගරු කථානායකතුමනි, මම ඊයේ තමයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ලෙස වැඩ ආරම්භකළේ. මේ තනතුරේ ඇති වගකීමත් එක්ක මම ඊයේ දවස පුරාම පාර්ලිමේන්තුවේ ඉතා කාර්ය බහුල වුණා.

ඊයේ රඹුක්කනදී මේ අවාසානාවන්ත සිද්ධිය ඇති වු වහාම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමාත්, පොලිස්පතිතුමාත් ඒ ගැන රටට පැහැදිලි කිරීමක් කළා.

පසුගිය කාලය පුරාම රටේ විවිධ තැන්වල උද්ඝෝෂණ ක්‍රියාත්මක වුණා. අපි උද්ඝෝෂණය කිරීමේ අයිතිය පිළිගත් රජයක්. ඒ වගේම උද්ඝෝෂණය නොකරන සාමාන්‍ය ජනතාවගේ දෛනික ජීවිතය පවත්වා ගෙන යාමේ අවශ්‍යතාවයත් ආරක්ෂා කරන වගකිව යුතු ආණ්ඩුවක්.

පසුගිය කාලයේ තිබුණු සෑම උද්ඝෝෂණයකම මහජන සාමය ආරක්ෂාව සුරැකීමේ ප්‍රධාන ආයතනය වන පොලීසිය ඉතා කැපවීමෙන් කටයුතු කළා. සාමාන්‍ය ජනතාවගේ දෛනික කටයුතු පවත්වාගෙන යාම සඳහා හැකි උපරිම සහයෝගය ලබා දුන්නා.

ඊයේ දවස තුළත් රටේ විවිධ ස්ථානවල උද්ඝෝෂණ සිදු කෙරුණා. අපි දැක්කා සමාජ මාධ්‍ය ඔස්සේ මේ සඳහා විවිධ ප්‍රචාරයන් සිදු කෙරෙනවා. පොලීසිය මේ අය හදුනාගෙන තිබෙනවා.

අපි දැක්කා ජනතා විමුක්ති පෙරමුණ පසුගිය දවස්වල බස් රථ මගින් ජනතාව ගෙන්වා ගනිමින් පෙළපාලියක් ගියා. රටේ විවිධ තැන්වල තිබෙන උද්ඝෝෂණ සංවිධානය කිරීමට සමගි ජනබල වේගයට සම්බන්ධ පුද්ගලයන් මුල්වී තිබෙන බව අපි දැක්කා. ඊට අදාළ ඡායා රූප විඩියෝ අප ළඟ තිබෙනවා.

ඊයේ පැවැති උද්ඝෝෂණවලදි බස් රථ යොදා ගෙන ප්‍රධාන මාර්ග අවහිර කෙරුණා. සාමාන්‍ය ජන ජීවිතයට බාධා කළා. රඹුක්කන සිද්ධියත් එවැන්නක්.

අද රට පත්ව තිබෙන අවාසනාවන්ත තත්ත්වය පසුගිය කාලයේ මේ උද්ඝෝෂණ සඳහා නායකත්වය දුන් ඒවාට අනුබල දුන් සියළු දෙනාත් වගකිය යුතුයි.

රඹුක්කන සිද්ධිය ඇතිවු අවස්ථාවේදි එය පාලනය කර ගැනීම සඳහා පොලීසිය හැකි ක්‍රියාමාර්ග ගත්තා. පැය 10කට ආසන්න කාලයක් මේ අය බස් රථ නතර කරමින්, දුම්රිය නතර කරමින්, කළහකාරී ලෙස හැසිරුනා. පාසැල් ලමයින්, රැකියාවලට ගිය අය පැය ගණන් රස්තියාදු වුණා.

මේ කළහකාරීන් ත්‍රීවිල් රථයයකට ගිනි තියා තිබුණා. ඉන්ධන ලීටර් 33000 ක් සහිත බවුසරයක් ගිනි තබන්නට සුදානම් වු අවස්ථාවේදී පොලීසිය තමන්ට පැවරී ඇති බලතල අනුව එය පාලනය කළා. මේ ගිනි තැබීම වුණා නම් අද රඹුක්කනක් නෑ. පොලීසිය මේ අවස්ථාවේදී කටයුතු කලේ පොලිස් ආඥාපනත හා පොලිස් නියෝග අනුවයි.

පොලිස් ආඥා පනතේ 56 වන වගන්තිය අනුවත් දණ්ඩ නීති සංග්‍රහය අනුවත් පොලීසියට මේ සඳහා අවශ්‍ය බලය තිබෙනවා.

ඒ අවස්ථාවේදී එම ස්ථානයේ පවතින තත්ත්වය අනුව එහි සිටින ඉහළම පොලිස් නිලධාරියාට ඒ සඳහා තීන්දුවක් ගත හැකිය. පොලිස් පරීක්ෂකවරයෙකුගෙන් ඉහළ කෙනෙකුට තමයි ඒ තින්දුව ගන්න පුළුවන් .

මේ වෙඩි තැබීම සිදුවුනේ උද්ඝෝෂකයන් පාලනය කරන්න පුළුවන් හැම දෙයම කරලා. මේ සිද්ධිය විමර්ෂනය කිරීම සදහා අවිස්සාවේල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් දැනටමත් පත් කර තිබෙනවා.

රඹුක්කනදී පොලීසිය කටයුතු කර ඇති ආකාරය පිළිබඳව සොයා බැලීම සඳහා රාජ්‍ය අමාත්‍යාංශායේ ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කළා. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ නිති උපදේෂක මේ කමිටුවේ සෙසු සාමාජියන්.

මෙම කමිටු වාර්තාව අපි කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඊට අමතරව මේ සිද්ධිය පිළිබඳව ස්වාධීන හා අපක්ෂපාතී පරීක්ෂණකයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේන් අපි ඉල්ලීමක් කර තිබෙනවා.

උද්ඝෝෂකයන් හැදුවේ බවුසරය ගිනි තියන්න. එහෙම ගිනි තිබ්බා නම් ලොකු විනාශයක් වෙනවා. 2021 සියරාලියෝන් බවුසරයක් ගිනි ගැනීම හින්දා 151 ක් දැවී අලුවීගියා.

අපි ඉතා වගකීමෙන් කියන්නේ රටේ සාමාන්‍ය ජනතාවගේ දෛනික ජන ජීවිතය ආරක්ෂා කරන්න අපි බැඳි සිටිනවා. ඒ සඳහා අපි කටයුතු කරනවා.

ගරු කථානායකතුමනි.

ඔබතුමා දන්නවා අතිගරු ජනාධිපතිතුමාගේ පෞද්ගලික නිවසට ගහපු අවස්ථාවේ ඉඳන් පොලිසිය ඉතාමත් ඉවසීමෙන් ඒ වගේම නීත්‍යානුකූලව කටයුතු කළා. ප්‍රජාතන්ත්‍රවාදී විදිහට කටයුතු කළා. හැබැයි මම කනගාටු වෙනවා අද මේ කෑගහන අය මේ බෝඩ් උස්සන් ඉන්න අයගෙ දරුවො යන්නෙ නෑ මෙව්වට. හැබැයි අහිංසක මිනිස්සුන්ව එළියට දාලා ඔවුන්ගේ ජීවිත බිලිගන්න මේ අය කටයුතු කරන එක ගැන අපි කණගාටු වෙනවා. ගරු කථානායකතුමනි. ඒ නිසා අපි රජයක් හැටියට මේ රටේ සියලු දෙනාගේම ආරක්ෂාව හා සාමය වෙනුවෙන් අපි කැප වෙනවා කියන එක අපි සියලු දෙනාටම කියා සිටිනවා.

– Media unit

Related posts

මන්ත්‍රීවරුන්ගේ දුරකථන විස්තර හෙළි කළ සිද්ධිය දුරදිග යයි

Shiran Viraj

15 හැවිරිදි සිසුවා 11 හැවිරිදි සිසුවියට පිහියෙන් අනී..ලිංගික වලියක්.

Shiran Viraj

පුංචි ඡන්දයට එක්වන්න මහින්දට අගමැති හෝ විපක්ෂ නායක පුටුව ලැබෙයිද? ශ්‍රීලනිපය කියන කතාව

Shiran Viraj