mediahumanrights.lk
News Political

ඩොලර් නෑ.. අද අප ඉන්නේ ගමනක කෙලවරයි.. කැමති වුනත් නැතත් ආනයන සීමා කරන්නම වෙනවා…

දේශීය කර්මාන්තකරුවා යනු තමන් උපන් රටට අගය එකතු කරමින් ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය ජාත්‍යන්තරව බලගන්වන්නෙක් බවත් අද අප ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය තුළින් ඇගයීමට ලක් කරන්නේ අපේ රටේ ඉදිරි ගමනේ එම පුරෝගාමී බලඇණිය බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

පෙබරවාරි 06 වැනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන ‘කර්මාන්ත 2022: ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය’ විවෘත කිරීමෙන් අනතුරුව පැවති උත්සව සභාව ආමන්ත්‍රණය කරමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

“ගෙවී ගිය වසර දෙක අපේ රටේ කර්මාන්තකරුවන් ප්‍රබල අභියෝගවලට මුහුණ දෙමින් ගමන් කළ කාල පරිච්ඡේදයක්. පාස්කු ප්‍රහාරයට පසුව ඇතිවූ තත්ත්වය සහ වසංගත තත්ත්වය විසින් මේ රටේ සෙසු ජනයාට වඩා වැඩි අභියෝග ප්‍රමාණයක් කර්මාන්තකරුවන්ට නිර්මාණය කළා. රජයෙන් ලබා දුන් සහනයන් ද පිළිගනිමින්, එහෙත් පැමිණි සෑම දුකක්ම පැණි රසයි, කියා හිතාගෙන මෙරට කර්මාන්තකරුවා මේ රටේ කර්මාන්තකරණයේ සුවිශාල පියවර රැසක් එම ගෙවී ගිය වසර දෙක තුළ තබා තිබෙනවා.

සම්මත මෙහෙයුම් පටිපාටිය(SOP) කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අරන් අග්‍රාමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වූවාට පස්සේ එතෙක් මෙරට වාහන එකලස් කිරීමේ යෙදී සිටි සමාගම් 03ක සුළු ප්‍රමාණය වෙනුවට එය අද 12ක් බවට පත්වී තිබෙනවා. දේශීයව අගය එකතු කිරීම ද ක්‍රමානුකූලව වැඩි කරමින් එම වාහන එකලස් කිරීමේ කර්මාන්තය ප්‍රබෝධමත්ව ඉදිරියට යමින් තිබෙනවා. රටක එවැනි කර්මාන්ත දියුණු වෙනවා කියන්නේ ඒහා බැඳුණු උප කර්මාන්ත රැසකට තිරසාර පැවැත්මක් ඇති වීමයි.

“ජාතික කර්මාන්ත ප්‍රතිපත්තිය”

එසේම එම වාහන නිෂ්පාදනය කිරීමේ හා වාහන එකලස් කිරීමේ කර්මාන්තය ඇතුළු මෙරට ප්‍රධානතම කර්මාන්ත ක්ෂේත්‍ර 20කට අදාළව ඉතිහාසයේ ප්‍රථම වතාවට උපදේශක සභා පිහිටුවීමට අපට හැකි වුණා. එමගින් ඒ ඒ කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළ උපායමාර්ගික සැලසුම් අද අපි සකස් කරමින් සිටිනවා. ඒ වගේම කර්මාන්තකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් නොතිබුණු අපේ රටේ එම ජාතික ප්‍රතිපත්තිය සකස් කර ගෙන, නොබෝ දිනකින් එය මහජන අදහස් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කිරීමට අපි සූදානමින් සිටිනවා. මහජන අදහස් ලබා ගැනීමෙන් අනතුරුව අදාළ සංශෝධන කරලා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන ජාතික කර්මාන්ත ප්‍රතිපත්තිය අපේ රටේ පිළිගත් ජාතික ප්‍රතිපත්තියක් ලෙස ස්ථාපිත කිරීමට කර්මාන්ත අමාත්‍යාංශය ලෙස අපි කටයුතු කරනවා.

‘කර්මාන්තකරණයට බර වූ ප්‍රතිපත්තියක්’

කර්මාන්තකරණයෙන් දියුණු වූ සියලු රටවල කර්මාන්තකරුවා වෙනුවෙන් වූ මූල්‍ය ආයතන පද්ධතියක් හා බැංකුකරණයක් තිබෙනවා. ඒ වගේම එම රටවල්, ඵලදායී ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කළාම ඇප කොන්දේසි ලිහිල් කරලා, අවදානම දරාගෙන ආයෝජකයන්ට පහසුකම් සපයනවා. අවාසනාවට අපේ රට පෙරදිග ධාන්‍යාගාරය යන නමින් හඳුන්වපු නිසාම ද කොහෙද කෘෂිකාර්මික රටක් යන විශේෂකරණය පමණයි අපට ඓතිහාසිකව උරුම වුණේ.

නිදහසින් පසු ශ්‍රී ලංකාව, සැලකිය යුතු අන්දමින් සිරිමාවෝ ආර්. ඩී. බණ්ඩාරනායක මැතිනියගේ සමයේ කාර්මිකකරණයට බර වූ ප්‍රතිපත්ති අනුගමනය කළා. නමුත් අවාසනාවට ඒ කර්මාන්තකරණයට බරවූ ගමන දිගුකාලීනව ඉදිරියට ගෙන යන්න අපිට හැකියාව ලැබුණේ නැහැ. එදා උපාලි විජේවර්ධනලා පියට් කාර් එක හැදුවා, ගුවන්විදුලියක් නිර්මාණය කළා.අපේ දේශීය ඇඟලුම් නිෂ්පාදකයන් ඇඟලුම් නිෂ්පාදනය කළා. වතුර මෝටරය ඇතුළු විශේෂයෙන් කෘෂිකර්මාන්තයට අවශ්‍ය යන්ත්‍රසූත්‍ර නිෂ්පාදනය කළා. එවැනි ප්‍රවණතාවක් ඒ කාලයේ දී මතු වුණා. නමුත් එම තත්ත්වය හොඳින් වර්ධනය වීමට ප්‍රථම අපි ක්ෂණිකවම විවෘත වෙළඳපොළ ආර්ථිකයට මාරුවුණා. එමඟින් හැමූ සුළඟින් දේශීය කර්මාන්ත බොහෝ අසරණ වුණා. නමුත් අද එම විවෘත වෙළඳපළ ආර්ථික ගමනේ කෙළවරට අපි පැමිණ තිබෙනවා. අපි අද ඉන්නේ විදෙස් විනිමය අර්බුදයක. එම විදේශ විනිමය අර්බුදය විසින් අපට අද බල කෙරී තිබෙනවා අකමැත්තෙන් හෝ ඇතැම් ආනයන සීමා කිරීමට. එසේ ඇතැම් ආනයන සීමා කිරීමට ගත් තීරණ නිසා කෙටිකාලීන දුෂ්කරතා ඇති වුවත් දිගුකාලීනව වාසි සහගත තත්ත්වයන් මතුව තිබෙනවා. අද ‘බාත් වෙයාර්’ කර්මාන්තය ගත්තොත් එම නිෂ්පාදකයන් දේශීය අවශ්‍යතා සැපිරිය හැකි මට්ටමට ළඟාවෙමින් තිබෙනවා. ටයිල් කර්මාන්තය 80%ක් දේශීය අමුද්‍රව්‍යවලින් යැපෙන කර්මාන්තයක්. එදා විදේශ රටවලින් ටයිල් ආනයනය කර බෙදාහැරපු ආයතන අද දේශීය වශයෙන් ටයිල් නිෂ්පාදනය අරඹා තිබෙනවා.

උපන් රටට අගය එකතු කරමින්…

මේ සියලු අභියෝග මැද අපේ බලාපොරොත්තු දල්වන එකම දේ තමයි, මේ රටේ කර්මාන්තකරුවා අවදානම දරාගෙන කරන මේ කැපවීම. ‘මේ ප්‍රතිපත්ති තව අවුරුදු කිහිපයකින් වෙනස් වුවහොත් අපි මුහුණ දෙන අවදානම ඉතා ප්‍රබලයි නේද?’ කියන ප්‍රශ්නයත් හිතේ දරාගෙන තමයි මේ පිරිස ඉහත කී ආයෝජනයන් කරන්නේ. ඔවුන් ධනය උපදවාලීමට කෙටි මාවත් සොයන්නවුන් නොවෙයි. තමන් උපන් මාතෘභූමියට ඉතා ඉහළ අගය එකතු කිරීමක් සිදුකරන්නවුන්. මාතෘභූමියට අගය එකතු කිරීමට හැමෝටම බැහැ. දේශීය කර්මාන්තකරුවා කියන්නේ ධනය උපදවන්නෙක් වුවත් ඔහු ධනය උපදවන්නේ තමන් උපන් රටට අගය එකතු කරමින් ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ කියන අපේ සන්නාමය ජාත්‍යන්තරව බලගන්වමින්. ඒ නිසා අපේ රටේ ඉදිරි ගමනේ පුරෝගාමී බලඇණියයි අපි අද මේ ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයෙන් ඇගයීමට ලක් කරන්නේ.

දූදරුවන්ට විවෘත ආරාධනයක්!

මම මේ රටේ දූදරුවන්ට ඉතා විවෘතව ආරාධනා කරනවා, ‘ඔබ දකින වෛද්‍යවරයකු, ගුරුවරයකු, නීතිඥවරයකු වීමේ සිහිනය එහෙමම තියාගෙන, මේ ජාතික කර්මාන්ත ප්‍රදර්ශන පරිශ්‍රයට ඇවිත් එහි සැරිසරන්න’ කියා. එවිට ‘නැහැ! මම මගේ රටට අගය එකතු කරන, කර්මාන්තකරුවකු බවට පත් වෙනවා’ කියන ස්ථිර අධිෂ්ඨානය ඔබ තුළ ජනිත වේවි. එවැනි සිතුවිලි ජනිත වන ‘මහා මිනිස් යායකට’ මේ රට අද මුහුණ දී ඇති අභියෝග පහසුවෙන් ජයගත හැකියි. අපේ රටේ මානව සම්පත තමයි ඉතිහාසය පුරා අප වෙත පැමිණි සියලු අභියෝග පසුකර යන්න අපට ශක්තිය ලබා දුන්නේ. ඒ දියුණු මානව සම්පත කර්මාන්තකරණයේ ප්‍රබල බලවේගයක් ලෙස ඉදිරියට ඒම අත්‍යවශ්‍යයි. ඔබේ මාතෘභූමිය ඔබගෙන් ඒ භූමිකාව ඉල්ලා සිටිනවා.

අවසන් වශයෙන් ඉතා කෙටි කලක් තුළ මේ කටයුත්ත සංවිධානය කළ, ප්‍රතාපවත්ව සහ අලංකාරවත්ව අද මේ කටයුත්ත ආරම්භ කළ කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයට, ඊට දායක වූ සියලුදෙනාට මගේ කෘතවේදීත්වය පළ කරනවා. ‘කර්මාන්තකරණයේ ශ්‍රී ලාංකීය පරිච්ඡේදය අභිමානවත්ව සටහන් කිරීමට අද මේ ආරම්භ වන ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය ප්‍රබල උත්තේජනයක් වේවා’යි ප්‍රාර්ථනය කරනවා.”

පැවති සමාරම්භක උළෙලට සමගාමීව මෙරට වාහන නිෂ්පාදන සහ වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ නියැලී සිටින දේශීය කර්මාන්තකරුවෝ මෙරටදී නිෂ්පාදනය කරන ලද සහ එකලස් කරන ලද තම වාහන, කොළඹ බෞද්ධාලෝක මාවත ඔස්සේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය දක්වා පෙළපාලියක් මගින් පැමිණ ප්‍රදර්ශනය කිරීම ද සිදුකෙරිණි. එසේම කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා පිළිබඳ තොරතුරු ඇතුළත් ජංගම දුරකථන යෙදවුමක් (Job Portal Mobile Application) මෙම අවස්ථාවේ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනගත කෙරිණි.

මෙහිදී කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ජනරාල් දයා රත්නායක, කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක යන මහත්වරු ද අදහස් දැක්වූහ.

වේවැල්, පිත්තල, මැටි, ලී බඩු, ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, මහකොමසාරිස්වරු, තානාපතිවරු ඇතුළු රාජතාන්ත්‍රික නිලධාරීහු හා සම්භාවනීය ආරාධිතයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත අමාත්‍යාංශය

Related posts

පුච්චනවද? වළලනවද? ආගමික බලපෑම්වලට යට නොවී සෞඛ්‍ය අංශ මතය නිවැරදිව කියන්න. ඥානසාර හිමි ඉල්ලයි

Shiran Viraj

දිලීර නාශක නෑ.. එළවළු පළතුරු තේ වගාව මහා විනාශයක.. ලංකාව සාගතයක් එලිපත්තේ…

Shiran Viraj

නාවිකයින් 5ක් අතුරුදන්

Shiran Viraj