mediahumanrights.lk
Local NewsNews

පවුලකට දිවි අහිමි කළ මහනුවර ගොඩනැගිල්ල නීතිවිරෝධී බව හෙළි වෙයි

මව, පියා සහ බිළිදියකට ජීවිත අහිමි කරමින් මහනුවර, බූවැලිකඩ ප‍්‍රදේශයේදී ඊයේ කඩා වැටුණු පස් මහල් ගොඩනැගිල්ල නිසි ප‍්‍රමිතියකට ඉදිකර නොමැති බව අනාවරණ වී තිබෙනවා. ඒ, අදාළ අනතුරෙන් පසු ගොඩනැගිල්ල ඉදිකිරීම සම්බන්ධයෙන් සිදුකළ පරීක්‍ෂණයකදීයි. එහිදී අනාවරණ වී ඇත්තේ මෙම පස් මහල් ගොඩනැගිල්ල ඉදිකර තිබුණේ අස්ථාවර භූමි ප‍්‍රදේශයක බවයි. ඉදිකිරීමේදී භූමියේ පවතින විද්‍යාත්මක තත්ත්වයට ගැලපෙන පරිදි අදාළ ඉදිකිරීම සිදුකර නොමැති බවද එහිදී හෙළිකර ගෙන තිබෙනවා.

ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ලබාදෙන නිර්දේශයන්ටද අනුකූල නොවන පරිදි බවයි පරීක්‍ෂණයේදී අනාවරණ වී ඇත්තේ. එමෙන්ම ගොඩනැගිල්ලේ අත්තිවාරමද නිසි ප‍්‍රමිතියට ඉදිකර නොමැති බව වැඩිදුරටත් හෙළිකර ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ මහනුවර දිස්ති‍්‍රක් භාර භූ විද්‍යාඥ සමන්ත බෝගහපිටිය සදහන් කළේ නිසි ප‍්‍රමිතියට ඉදිකර නොමැති අත්තිවාරම බිදී ගොස් ගොඩනැගිල්ල කඩා වැටී ඇති බවයි. මෙම භූමිය තවදුරටත් අනතුරුදායක බැවින් ඒ ආසන්න තවත් ගොඩනැගිලි කිහිපයක පදිංචිකරුවන්ට සිය වාසස්ථානවලින් ඉවත් වන ලෙස දැනුම් දුන් බවද ඔහු කියාසිටියා.

ඊයේ අලූයම මෙම පස් මහල් ගොඩනැගිල්ල ගිලා බැසීමත් සමග ඒ අසල පිහිටි කුඩා හෝටලයකට එය කඩා වැටී අදාළ අනතුර සිදුවුණා. කොරෝනා සමයෙන් පසු එම හෝටලය තුළ කිසිදු සංචාරකයෙකු රැදී සිට නොමැති අතර එහි රැදී සිට තිබුණේ හෝටලය පවත්වාගෙන ගිය පවුලේ පස් දෙනෙකු පමණයි. අනතුරෙන් මව, පියා සහ බිළිදියකට ජීවිත අහිමි වූ අතර තවත් කාන්තාවන් දෙදෙනෙකුගේ දිවි බේරා ගැණුනා. ජිවිතක්‍ෂයට පත් වූ වයස අවුරුදු එක හමාරක බිළිදියගේ මව නීතිඥවරියක් මෙන්ම ඌව විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක් ලෙසද කටයුතු කළ 32 හැවිරිදි තැනැත්තියක්. චමිල ප‍්‍රසාද් නම් වූ ඇයගේ ස්වාමියා 35 හැවිරිදි වියේ පසු වුණා.

මේ අතර කඩා වැටුණු පස් මහල් ගොඩනැගිල්ලේ සිටි පිරිසක් අනතුර සිදුවීමට පෙර අලූයම් කාලයේදීම එම ගොඩනැගිල්ලෙන් පිටව ගොස් ඇති බවටද වාර්තා පළ වනවා. ඊයේ සිදුවූ මෙම අනතුර සම්බන්ධයෙන් පොලීසිය අද දිනයේ අධිකරණයටද කරුණු වාර්තා කිරීමට නියමිතයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

පෙරපාසල් දරුවන්ට අකුරු ලිවීමට බලකිරීම ඔවුන්ගේ බුද්ධිමය වර්ධනයට බාධාවක් බව අමාත්‍යවරිය පවසයි

Shiran Viraj

කොරෝනා ගැන රජය කියන්නේ බොරු.. රටපුරා පනස්දාහක් ඉන්නවා.. නම් ගම් පවා දන්නවා..- මනෝ ගනේෂන්

Shiran Viraj

සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශක්තිමත් කිරීමට පියවර ගන්නවා – අගමැති

Shiran Viraj
Translate »