27 C
Colombo
2024-07-07
mediahumanrights.lk
Entertainment Entertainment News News

මේ දින­වල අති­ශ­යින් ජන­ප්‍රිය සකු­ණිගේ කතාව අසමු : සකුණි අඬන්නෙ ග්ලිස­රින්වලට නෙමෙයි ඇත්ත­ට­මයි

දැන් සහෙළිට වඩා සකුණි ජනප්‍රියයි : හර්ෂිකා ආන්ටි චරිතෙට නපුරු වුණාට ඇත්තට නපුරු නෑ

අම්මා ආගිය අතක් නෑ. තාත්තා ගැන දන්නෙ නෑ. නැන්දාගෙන් සිදුවන කෙනෙහිලිකම්වල නිමක් නෑ. එහෙත් මේ පුංචි සිත හැමදේටම මුහුණදෙන්න තරම් ශක්තිමත්. ඒ නිසාමයි ඇය යන ගමන මේ තරම් සාර්ථක. ඇය තමයි සකුණි. මේ දිනවල කාගෙත් කතාබහට ලක්වු දිරිය දියණිය ඇයයි. ස්වර්ණවාහිනියෙන් විකාශය වන සකුණි ටෙලි නාට්‍යයේ සකුණි වුවත් ඇගේ සැබෑ නම සහෙළි සදිත්මා සතරසිංහ. හැමෝගෙම ආදරය ලබන මේ හුරුබුහුටි දැරිය සොයාගෙන රසඳුන අපි ගියේ ඇය සමග කතා බහ කරන්නටයි.

සකුණි කියනවටද සහෙළි කියනවටද වැඩිය කැමැති..?

සහෙළි කියනවට. සකුණි කියන්නෙ සකුණි ටෙලි නාට්‍යයේ චරිතයේ නමනේ.

ඒ වුණාට මේ දවස්වල සහෙළිට වඩා සකුණි ජනප්‍රියයි..?

ඔව්. පාරෙදි, ඉස්කෝලෙදි හැම තැනකදිම හැමෝම කතාකරන්නෙ සකුණි කියලා.

ඔයාව හඳුනගත්තට පස්සේ මොනවද කියන්නෙ..?

කතා කරල අහනවා ඔයා නේද සකුණි කියලා. මම ඔව් කීවම ෆොටෝ ගහන්න කතා කරනවා. ඒ වෙලාවට මට හරිම සතුටුයි.

සකුණිට දුක හිතෙන්නෙ නැද්ද නැන්දා නිතරම බනිනකොට..?

ඒ වෙලාවට මම හිතනවා මේක ‍රඟපෑමක් විතරයිනෙ කියලා. හර්ෂිකා ආන්ටි චරිතෙට නපුරු වුණාට ඇත්තට නපුරු නෑ. අනිත් වෙලාවට මාව ළඟට අරගෙන හුරතල් කරනවා. ප්‍රසන්නජිත් මාමා, පබෝදා අක්කාත් මට ආදරෙයි. අනිත් කට්ටියත් එහෙම තමයි.

 සහෙළි ඇත්තටම අඬන්න දක්ෂයි කියන්නෙ ඇත්තක්ද?

ආ… මට පුළුවන් ඕනෑම වෙලාවක ග්ලිසරින් නැතුව අඬන්න. ඒක වෙන්න ඇති ඔය කියන්නේ. සකුණි අඬන්නෙ ග්ලිසරින්වලට නෙමෙයි ඇත්තටමයි.

ගෙදරදිත් රඟපානවා කියල අම්මා කියනවා..?

මම ඩිරෙක්ට් කරනවා. මගේ නංගි සිතුලි තමයි රඟපාන්නෙ. නංගිට මම රඟපාන්න කියල දෙනවා. අම්මයි, තාත්තයි බලාගෙන ඉඳලා අපිට උපදෙස් දෙනවා. මේ දවස්වල නම් නංගි ටිකක් බයෙන් ඉන්නෙ.

ඒ මොකද නංගි බයෙන් ඉන්නෙ..?

නංගි බයෙන් ඉන්නෙ අක්කට පිස්සු හැදෙයි කියලා. ටී.වී. එක බලන් ඉන්නකොට අනේ අක්කට පිස්සු හැදිලා කියල අඬනවා. ඒ වෙලාවට අම්මා නංගිට ඇත්ත කියනවා. නංගි තාම පුංචියිනේ. එයාට තාම වයස පහයි.

ඉස්කෝලෙ යාළුවෝ මොකද කියන්නේ..?

මගේ පාසල කොළඹ ශ්‍රී සංඝමිත්තා විද්‍යාලය. යාළුවන්ට සතුටුයි මම රඟපාන එක ගැන. ටීචර්ස්ල කියනව සහෙළි පාසලේ ඉන්න විදිහට රඟපාන්න පුළුවන්ද කියල හිතන්නවත් බැහැ කියල. මෙවර මම හයවැනි වසරට සමත් වුණා. ඒ නිසා ලබන වසරේ සිට වෙනත් පාසලකට යන්න සිදු වෙනවා.

පොල් රොටී කන්න ‍කැමැතියි කියන්නෙ ඇත්තක්ද?

මගේ ආසම කෑම පොල් රොටි. අම්ම රඟපාන්න යනකොටත් පොල් රොටී හදාගෙන යනවා. දැන් හමෝම දන්නවා මම පොල් රොටිවලට කැමැතියි කියලා. ඒ නිසා ගොඩක් අය මට පොල් රොටී හදාගෙන එනවා.

ලොකු වුණහම කවුරු වෙන්නද හිතාගෙන ඉන්නේ..?

ඩාන්සින්වලට කැමැතියි. ඒත් තවම හරියටම කවුරු වෙනවද කියල තීරණයක් නැහැ. ලොකු වුණහම හොඳ කෙනෙක් වෙන්න හිතාගෙන ඉන්නවා.

අපි ඊළඟට කතාබහ කළේ සහෙලිගේ ආදරණීය මව වන ඉමානි කළුආරච්චි සමගයි.

දුවගේ රංගනය ගැන සතුටුයිද?

අම්ම කෙනකුට ලබන්න තියෙන ඉහළම සතුට මගේ දුව නිසා මම ලබනවා. මගේ ලොකු දෝණි සහෙලි කියන්නේ පුංචි කාලෙ සිටම රඟපෑම ඇඟේ තිබුණු ළමයෙක්. එයා පෙර පාසල් යන කාලෙ ඉඳන්ම ගෙදරදි සින්දු කියනවා. රඟපානවා. ෆොටෝ ෂූට්වලට පෙනී සිටින්නේ හරියට නිරූපිකාවක් වගෙයි. එයා මුලින්ම කැමරාව ඉස්සරහට ගියේ වෙළෙඳ දැන්වීම් හරහායි. ඒ වෙනකොට අවුරුදු දෙක හමාරයි.

සහෙළි මුලින්ම රංගනයට ආවෙ කොහොමද?

මගෙ අම්මා තමයි මුලින්ම කිව්වේ සහෙළිව වෙළෙඳ දැන්වීමකට යවමු කියලා. පස්සෙ තිර පරීක්ෂණයෙන් දුව තේරුණා. වයස අවුරුදු දෙකහමාරේ සිට වෙළෙඳ දැන්වීම්වල රඟපාන්න අවස්ථාව ලැබුණා. මේ වෙනකොට වෙළෙඳ දැන්වීම් පනහක විතර රඟපාලා තියෙනවා. මේ දිනවල නෙත්.fm එකේ සත්‍යා ‍නාට්‍යයේ සත්‍යාට හඬ කවන්නෙත් ඇයයි.

ඉන් පසුව ටෙලි නාට්‍ය රංගනයට පිවිසෙනවා..?

සිරස නාළිකාවෙන් විකාශය කළ ‘සුජාතා’ ටෙලි නාට්‍යයේ තමයි පළමුව රඟපෑවේ. එතකොට වයස අවුරුදු හයයි. ඉන් පසුව රඟපෑ ටෙලිනාට්‍යය තමයි සකුණි.

සහෙළි කළ ඇතැම් නිර්මාණ සම්මානයට පාත්‍රවුණා නේද?

ඔව්. ආනන්ද අබේනායක මහතාගෙ ‘තාරා’ ටෙලිනාට්‍යයේ කළ රංගනයට රයිගම් සම්මාන උලෙළේ දි හොඳම ළමා තාරකාවට හිමි සම්මානය ලැබුණා. ඉන්පසුව උදයකාන්ත වර්ණසූරියගේ ‘බන්ධනය’ සිනමාපටයට කළ රංගනයට සරසවි, සිග්නීස් සම්මාන හිමිවුණා. ‘බන්ධනය’ චිත්‍රපටයේ රඟපාද්දී දුවගේ වයස අවුරු හතයි.

‘සකුණි’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වන්නෙ කොහොමද?

ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ දේදුනු ආකාසේ චිත්‍රපටයේ සහෙළි රඟපෑවා. එහි රූගත කළ දිනවල ප්‍රියන්ත අයියා කීවා අලුතෙන් ටෙලි නාට්‍යයක් කරනවා ඒකට සහෙළිව ඕනෑ කියලා. එම අවස්ථාවේ මම කිව්වා මෙගා එකක් නම් බැහැ කියලා. එවිට ප්‍රියන්ත අයිය කීවා මෙගා නෙමෙයි කොටස් අසූවක් විතර දිගහැරෙන්නේ කියල. සහෙළිගේ අධ්‍යාපන වැඩවලට බාධා නොවන ලෙස කළ හැකි නිසා කැමැත්ත දුන්නා.

සහෙළි කලා පරිසරයක් තිබෙන පවුලක නේද?

මගේ නංගි ධනංජි තාරුකා. ඒ කියන්නෙ සහෙළිගෙ පුංචි. ඇය රංගන ශිල්පිනියක්. මගේ සැමියා වසන්ත සතරසිංහ. කොළඹ රාජකීය විදුහලේ ක්‍රිකට් පුහුණුකරු. ඊට අමතරව ඔහුත් වෙළෙඳ දැන්වීම් කිහිපයක රඟ පා තිබෙනවා. මමත් ඒ කාලෙ වේදිකා නාට්‍ය රංගන ශිල්පිනියක ලෙස වැඩ කළා. සමහර විට ඒ ආභාසය සහෙළිට යන්න ඇති. 

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

Related posts

ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය ස්ථිරයි.. මහින්ද විශේෂ ප‍්‍රකාශයට සූදානම්..

Shiran Viraj

වැඩ බලන ධීවර ඇමති ලෙස දිලිප් වෙදආරච්චි පත්කරයි

Shiran Viraj

උඩවලව සිදුනාට කංචනට එරෙහිව නඩු දමයි

Shiran Viraj