27 C
Colombo
2024-07-07
mediahumanrights.lk
Business Business News News

ජපන් ජබර, සැල්වීනියා, කටු පාසි, ප්ලාස්ටික් දෑ, ලී කැබලි ඇතුළු අපද්‍රවය කිලෝ දාහතර දහසක්(පැය 8 කට) ගොඩදැමිය හැකි යන්ත්‍රයක්…

ලෝකයේ නව නිපැයුම් වලින් අංක එක වූ, NASA මගින් තරුවක් පවා නම්කළ, නාමල්ගේ අලුත් නිර්මාණය…
ජපන් ජබර, සැල්වීනියා, කටු පාසි, ප්ලාස්ටික් දෑ, ලී කැබලි ඇතුළු අපද්‍රවය කිලෝ දාහතර දහසක්(පැය 8 කට) ගොඩදැමිය හැකි යන්ත්‍රයක්…
නාමල් හදපු ගොයම් පැළ සිටුවන යන්ත්‍රය එය කිලෝ විස්සක් බරැතිය. ඒ සඳහා ඔහුට වැය වූයේ රුපියල් විසි දහසක් පමණි. රට තුළ මෙවැනි නිර්මාණකරුවකු සිටියදී මෙරට කෘෂිකාර්මික අංශ ගොයම් පැළ සිටුවන යන්ත්‍ර පිටරටින් ආනයනය කරන්නේය. එකි යන්ත්‍රය කිලෝ පනහක් බරැතිය. එහි මිල රුපියල් ලක්ෂ පහකි.
තඹුත්තේගම, සෝලම ගම්මානයේ ගොවි ගෙදරක උපන් ඔහු මීට වසර හතරකට පමණ ඉහතදී දහසක් බාධාවන් මැද සිදුකළ නව නිර්මාණය මගින් ජාත්යන්තරය දිනා ගත්තේය. මේ තරුණයා ජාත්‍යන්තරය කොතරම් ඇගයීමට ලක්වූවා දැයි කිවහොත් නාසා ආයතනය විසින් ඔහුගේ නමින් තරුවක්ද නම් කළේය. නාසා ආයතනය ඔහු ඇගයීමට ලක් කළත් තවමත් ඔහු ශ්‍රි ලංකාවේ නිසි ඇගයීමකට ලක්ව නැත. ඩබ්ලිව්. ඒ. නාමල් උදාර පියසිරි නමැති තවමත් විසිදෙහැවිරිදි වියෙහි පසුවන අපේ කතා නායකයා ඊයේ පෙරේදා තවත් අපූරු නිර්මාණයක් කළේය. ඒ මෙරට වැව් සහ ඇළ මාර්ග පුරා පැතිරී වසංගතයක් බවට පත්ව ඇති ජපන් ජබර ආදී ආක්‍රමණශීලි ශාක ඉවත් කිරීමේ යන්ත්‍රයකි.
තඹුත්තේගම, සෝලම නමැති සුන්දර ගම්මානයේ පදිංචි එස්. ජී. දයානි ප්රේමසිරි මහත්මිය සහ ඩබ්ලිව්. ඒ. විජිත නුවන් පියසිරි මහතාට දරුවන් සිව් දෙනෙකි. නාමල් උදාර පියසිරි එම යුවළගේ තුන්වැනි දරුවාය. නාමල්ට වැඩිමහල් සහෝදරයෙක්, සහෝදරියක් සහ බාල සහෝදරියක්ද සිටී. නාමල් උදාර අනුරාධපුර සෝලම විදුහලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේය. අනතුරුව බෙල්ලන්කඩවල මහා විද්යාලයෙන් සාමාන්ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබුවේය. එහිදී සාමාන්‍ය පෙළ සමත් වූ නාමල් උදාර තඹුත්තේගම මධ්ය මහා විද්යාලයයෙන් උසස් පෙළ හැදෑරුවේය. නව නිර්මාණ කටයුතුවලට ඔහුගේ පැවති ආසාව නිසා ඔහු උසස් පෙළ විෂය දහරාවට තෝරා ගත්තේ තාක්ෂණික විෂයයන්ය.
කුඩා අවදියේ සිටම කුමක් හෝ නිර්මාණයක් කිරීමට ආසාවක් දැක්වූ නාමල් උදාර පාසල් යන අවදියේදී එනම් 2010-2011 යන වසරවලදී අකුණු සන්නායකයක් නිර්මාණය කළේය. අනතුරුව ස්වයංක්‍රියව පිඟන් සෝදන යන්ත්‍රයක්, ශාක පත්ර තෙල් සිඳින යන්ත්‍රයක් පාසල් කාලයේදී නාමල් උදාර නිර්මාණය කළේය. මේ නිර්මාණ කිරීමට පෙර නාමල් කටුසටහනක්වත් සැකසුවේ නැත. තමන්ගේ සිතුවිලි මත මේ නිර්මාණ සිදු කළේය. ඔහුගේ මෙම නිර්මාණ පාසලේදී විශේෂ ඇගයීමටද ලක්විය. අනුරාධපුර දිස්ත්රික්කයේ පාසල් අතර සහ උතුරුමැද පළාතේ පාසල් අතර පැවති නව නිර්මාණ තරගවලදී නාමල් උදාරගේ නව නිපැයුම්වලට පළමු ස්ථානය හිමි විය. මේ නිසා ඔහු තව තවත් නව නිර්මාණ කිරීමට පෙළඹුණේය.
නාමල් උදාර බෙල්ලන්කඩවල මහා විද්යාලයෙන් සාමාන්ය පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසු ප්‍රථිපල අපේක්ෂාවෙන් සිය නිවසට වී සිටින කාලයේදී ගොවිබිමට ප්රයෝජනවත් යන්ත්‍රයක් නිර්මාණය කළ යුතු බව සිතුවේය. ඒ සිතුවිල්ල අනුව ඔහු නව නිර්මාණයට අත්පොත් තැබුවේය. එය නියර බඳින සහ රහින යන්ත්රයකි.
මගේ දෙමව්පියෝ ගොවිතැන් කරන්නේ. අපි පොඩි කාලේ ඉඳන් දෙමාපියන්ට කුඹුරු වැඩවලට උදව් කළා. මේ නියර බඳින සහ රහින යන්ත්‍රය නිපදවීමට මූලික හේතුව වුණෙත් ඒකයි. මම මේ යන්ත්‍රය මුලින්ම සවි කළේ ගෙදර තිබුණු අත් ට්‍රැක්ටර් එකකට. මුල් වර එය සාර්ථක වුණේ නෑ. පස්සෙ පස්සේ මට තේරුණා මේ යන්ත්‍රය සාර්ථක වෙනවා කියලා. අනතුරුව මම තවත් විශාල යන්ත්‍රයක් සකස් කළා. ඒකෙන් නියර රහින්න, බඳින්න, පෝරු ගෑම ඇතුළු ප්රයෝජන අටක් ගන්න පුළුවන්. ශ්‍රි ලංකා ඉංජිනේරු ආයතනය මගින් 2014 වසරෙදී ප්‍රදර්ශණයක් තිබ්බා. මම ඒ සදහා මේ යන්ත්‍රය ඉදිරිපත් කළා.පළාත් මට්ටමෙන් තිබුණු ප්‍රදර්ශනයෙන් මම ප්‍රථම ස්ථානය ලබා ගත්තා. ලංකාවෙන් ප්‍රථම ස්ථානය ලැබුවට පසු ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්වල තිබුණු ජාත්යන්තර ප්‍රදර්ශනයට මගේ යන්ත්‍රය ඉදිරිපත් කළා. ඒ තරගයට ලෝකයේ රටවලින් තරගකරුවන් 1600 ක් සහභාගි වූවා. එහිදී සමස්ත තරගාවලියෙන් දෙවන ස්ථානයත්, කෘෂිකාර්මික නව නිපැයුම් අංශයෙන් ප්‍රථම ස්ථානයත් හිමි වුණා. නාමල් උදාර පවසන්නේය.
ජාත්‍යන්තරව ලබාගත් එම ජයග්‍රහණයෙන් අනතුරුව ඇමරිකාවේ නාසා ආයතනය ඔහුගේ නමින් තරුවක්ද නම් කළේය. ඒ නාමල්ට කරන ගෞරවයක් වශයෙනි. එය සුවිශේෂී කාරණයක් විය.
මෙම ජයග්‍රගනයෙන් අනතුරුව නාමල් මෙරට බොහෝ දෙනකුගේ කතාබහට ලක්විය. මැති ඇමැතිවරු පැමිණ ඔහුගේ යන්ත්‍රය පරීක්ෂා කර බලා එය වැඩි දියුණු කිරීමට උපකාර කරන බවට වහසි බස් දෙඩුවේය.
ලෝකයක් දිනාගත් මේ යන්ත්‍රය නාමල්ගේ නිවසේ අඹ ගසක් යට අද දිරාපත් වෙමින් පවතින්නේ එය වැඩි දියුණු කිරීමට රජයේ හෝ කිසිවකුගේ උදව් උපකාරයක් නොලැබුණු නිසාවෙනි. නාමල් මේ යන්ත්රය නිෂ්පාදනය කිරීම සඳහා මුදල් උපයා ගත්තේ සිය දෙමාපියන්ගේ කුඹුරු ඉඩම්, රත්තරන් භාණ්ඩ පවා උකස් කිරීමෙනි.
මගේ ඒ යන්ත්‍රය හොඳින් වැඩි දියුණු කරලා ගත්තා නම් අද වෙද්දී මෙරටින් සහල් විශාල ලෙස පිටරට යවන්න තිබුණා. මේ යන්ත්රයෙන් පැය පහක් හයක් ඇතුළත අක්කර දෙකහමාරක නියර රැහැලා බඳින්න පුළුවන්. ඒ තරමටම මේ යන්ත්රය කාර්යක්ෂමයි. වී විතරයි අන්තිමට ඉසින්න ඕනේ. අනෙක් කාර්යයන් සියල්ල කරනවා. මට රජයෙන් වත් උදව් කළේ නෑ මේ යන්ත්රය වැඩි දියුණු කර ගන්න. නාමල් උදාර පැවසුවේය.
ගොයම් පැළ සිටුවන යන්ත්‍රයක්ද නාමල් සකස් කළේය. එය කිලෝ විස්සක් බරැතිය. ඒ සඳහා ඔහුට වැය වූයේ රුපියල් විසි දහසක් පමණි. රට තුළ මෙවැනි නිර්මාණකරුවකු සිටියදී මෙරට කෘෂිකාර්මික අංශ ගොයම් පැළ සිටුවන යන්ත්ර පිටරටින් ආනයනය කරන්නේය. එම යන්ත්රය කිලෝ පනහක් බරැතිය. එහි මිල රුපියල් ලක්ෂ පහකි. හයිඩේරාලික් බලයෙන් ක්‍රියා කරන මේ යන්ත්‍ර යම් කාර්මික දෝෂයකට ලක්වූ පසු එය සැකසීමට අදාළ සමාගමෙන්ද පැමිණිය යුතුය. නඩත්තු වියදමද අධිකය.
මහඉලුප්පල්ලම ගොවි පර්යේෂණ ආයතනයේ ඉංජිනේරුවන් නාමල් සැකසූ යන්ත්රයේ කොටස් අවශ්ය බව පවසමින් එය ඔහුගෙන් ලබා ගත්තේය. එහි ඇණයක් වත් අද නොමැති බව නාමල් පවසන්නේය. එම නිර්මාණය සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට කෘෂි ඉංජිනේරුවෝ කටයුතු කළහ.
මෙම සියලු සිදුවීම්වලින් අනතුරුව නාමල් නව නිර්මාණයකට අත්පොත් තැබුවේය. ඒ මීට මාස හත අටකට පමණ ඉහතදීය. එය නම් වැව්වල පැතිරී තිබෙන ජපන් ජබර ඉවත් කිරීමේ යන්ත්රයකි. එම නිර්මාණය කිරීම සඳහා ඔහුට අත හිත දෙන්නේ ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා සහ එම ආයතනයේ අධ්යක්ෂ මණ්ඩලයයි.
සභාපති රොෂාන් ගුණවර්ධන මහතා මට දවසක් කතා කළා. ඒ පුවත්පත්වල පළ වූ මගේ ලිපි දැකලා. ඔහු මගෙන් ඇහුවා වැව්වල තිබෙන ජපන් ජබර ඉවත් කරන්න පුළුවන් යන්ත්‍රයක් නිපදවන්න පුළුවන්ද කියලා. ඔහුගේ සංකල්පය මත මම මේ නව යන්ත්රය නිර්මාණය කරද්දී අමුද්රව්ය ලෙස යොදා ගත්තේ ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාවේ යාන්ත්රික අංශයේ තිබුණු කොටස් විතරයි. මම මාස තුනක කාලයක් ඇතුළතදී සම්පූර්ණයෙන්ම හැදුවා. එම සංස්ථාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා තමයි එම යන්ත්රය හදන්න සම්පූර්ණයෙන්ම වියදම් කළේ. මේ යන්ත්රය හදන්න රුපියල් ලක්ෂ හතක් වැය වුණා. මේ යන්ත්රයම වාරි මාර්ග දෙපාර්තමේන්තුව පිටරටින් ආනයනය කරලා තියෙනවා රුපියල් කෝටි පහයි ලක්ෂ හැත්තෑවකට. නාමල් කියන්නේය.
තමා නිපදවූ යන්ත්රයෙන් පැය අටක කාලයක් තුළදී වැව්වල තිබෙන ජපන් ජබර, සැල්වීනියා, කටු පාසි, ප්ලාස්ටික් දෑ, ලී කැබලි ඇතුළු අපද්රව්ය කිලෝ දාහතර දහසක් ගොඩදැමිය හැකි බව නාමල් පවසන්නේය. කිරි මණ්ඩල මාවතේ තිබෙන හීන් ඇළේදී මෙම යන්ත්රය අත්හදා බලන්නේය. හයිඩේරාලික් බලයෙන් මෙම යන්ත්රය ක්රියාත්මක වන්නේය.
වැවක තිබෙන ඕනෑම අපද්රව්යයක් මේ යන්ත්රයෙන් ඉවත් කරන්න පුළුවන්. මෙම යන්ත්රයේ සකසා තිබෙන ටැංකියට එක වරකට ටොන් දෙකක් එකතු කරන්න පුළුවන්. එක පුද්ගලයකුට මේ යන්ත්රය ක්රියාත්මක කරන්න පුළුවන්. මේ යන්ත්රයේ ක්රියාකාරිත්වය සඳහා දවසකට වැය වන්නේ රුපියල් පන්දහසක් පමණයි. තෙල්වලට වියදම් වෙන්නේ රුපියල් දෙදහස් පන්සීයයි. මනුස්සයෙක් යොදවා ජපන් ජබර ඉවත් කරනවා නම් දවසකට ඉවත් කරන්න පුළුවන් කිලෝ හාරසීයක් පමණයි. ඒ සඳහා රුපියල් එක්දහස් පන්සීයක් ගෙවන්න වෙනවා. නාමල් පවසන්නේය.
කටු සටහනක් වත් නැතිවයි මම මේ යන්ත්රය හැදුවේ. මගේ ඔළුවට එන අදහස් අනුවයි එය නිර්මාණය කළේ. කවුරුහරි ඉල්ලුවොත් මට මේ යන්ත්රය නිෂ්පාදනය කරලා දෙන්න පුළුවන්. මේ යන්ත්රයේ තවත් දියුණු කළ යුතු දේවල් තිබෙනවා. ඉදිරියේදී මම ඒ දේත් කරනවා. ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවෙන් කියලා තියෙනවා මේ යන්ත්රයට තක්සේරුවක් ලබා දෙනවා කියලා. ඒ කියන්නේ යන්ත්‍රය සංස්ථාවට මිලදී ගන්නවා කියලා. නාමල් කියන්නේය.
මේ ජබර අපද්රවය ඉවත් කරන යන්ත්රය විදේශයෙන් ගෙනාවොත් 5 කෝටි 70 ලක්ෂයක් වැයවෙනවා.මට මේක ලක්ෂ 70 කට හදා දෙන්න පුළුවන්, බව හෙලබෝජුන් අපි විමසීමේදී නාමල් උදාර පැවසුවා.
මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ අයෙක් නොවෙයි. කාර්මික තාක්ෂණ ආයතනයකට ගිහින් නෑ. මම සෑම ඇමැති කෙනෙක් ළඟටම ගිහින් කිව්වා මට වැඩිදුර ඉගෙන ගන්න විදෙස්ගත වෙන්න අවස්ථාවක් හදලා දෙන්න කියලා. ඒ කිසි කෙනෙක් මට ඒ සඳහා අවස්ථාවක් දුන්නේ නෑ. මට එක විදෙස් ශිෂ්‍යත්වයක් දුන්නේ නෑ. ඒ වුණත් මම රට වෙනුවෙන් කීර්තියක් ගෙනාවා. ඒත් අපේ ලංකාවෙන් සහයෝගයක් නෑ.
නව නිපැයුම්කරුවන්ගේ කොමිසම කියලා එකක් කොළඹ තියෙනවා. ඒ ආයතනයෙන් නව නිපැයුම්කරුවන්ට කිසිම සහයෝගයක් ලබා දෙන්නේ නෑ. මම ඊයේ පෙරේදා ඔය ආයතනයට ගියා නියර බඳින යන්ත්‍රයට පේටන්ට් එක අරන් දෙන්න කියලා. ඒ අය අහනවා ඔයා කවුද කියලා. අපිව හඳුනන්නේවත් නෑ ඒ අය. නාමල් පවසන්නේය.
නාමල් තව අලුත් නිර්මාණයකට අත ගසන්නට බලාපොරොත්තුවෙන් සිටින්නේය. එය හෙලිකොප්ටරයකි. එය තනි පුද්ගලයකුට හෝ දෙදෙනකුට භාවිත කළ හැකියි. මෙහි විශේෂත්වය තමයි මේ හෙලිකොප්ටරය ත්‍රිරෝද රථයක්, යතුරුපැදියක් ආකාරයෙන් ගොඩබිමේත් ධාවනය කරවීමට හැකි වීමයි.
අවසාන වශයෙන්, නාමල් උදාර සම්බන්ධ කරගෙන හෙලබෝජුන් කළ විමසීමේදී ඔහුගේ අදහස් විමසීමේදී අප හට හැගී ගියේ, ඔහුට තව දුරටත් මේ කේෂ්ත්‍රය තුලින් උසස් අධ්‍යාපනය හා වෘත්තිමය පලපුරද්දක් ලබා ගැනීමට ඇති ඔහුහේ අවශ්‍යතා වයයි. වයස 22 තරුණයෙක් වන ඔහුට තව බොහෝ දුර ගමනක් යාමට එය ලබාදීමට කටයුතු කිරීම වගකිවයුතු කාගේත් යුතුකමකි.
නාමල් උදාර ගැන වැඩි තොරතුරු- https://www.facebook.com/helabojunsrilanka පිටුවේ messenger මගින්ද ලබාගත හැක.
සාලිය කුමාර ගුණසේකර,රිවිර සටහන,

Related posts

ලොව රටවල් 62කින් චීන ජාතිකයින්ට කොන්දේසි පනවයි

Shiran Viraj

ආණ්ඩුව බලය වැරදි ලෙස භාවිතා කරනවා – හිටපු ජනපති

Shiran Viraj

කොටි නායකයාගේ වීර කතා ඇතුලත් CD පට ඇතුලු උපකරණ තොගයක් කිලිනොච්චියෙන්

Shiran Viraj