mediahumanrights.lk
BusinessBusiness NewsNews

ආසියානු රටවලට ඩොලර් ට්‍රිලියන 5ක වෙළෙඳ අවස්ථාවක් – UNIDO නිත්‍ය නියෝජිත

2030 තිරසර සංවර්ධන සැළැස්ම හරහා ආසියානු රටවලට ඇමරිකානු ඩොලර් ට්‍රිලියන  05ක වෙළෙඳ අවස්ථා හිමි වන බව UNIDO  නිත්‍ය නියෝජිත ආචාර්යය රෙනේ වෑන් (Rene Van Berkel) මහතා පවසයි.
එක්සත් ජාතින්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය (UNIDO) විසින් සංවිධානය කරනු ලැබූ තිරසාර සංවර්ධනය පිළිබඳව කර්මාන්තකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් සතොස මූලස්ථානයේ දී පැවැත්විණි.
මේ පිළිබඳව කර්මාන්තකරුවන් දැනුවත් කළ නිත්‍ය නියෝජිත ආචාර්යය රෙනේ වෑන් බර්කල් මහතා  මේ බව පෙන්වා දුන්නේය.
එහිදී 2030 වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලෝකය පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත තිරසර සංවර්ධන සැලැස්ම හා  එම සැලැසුම තම ව්‍යාපාර සඳහා ආදේශ කර ගන්නා ආකාරය පිළිබඳව කර්මාන්තකරුවන් දැනුවත්  කෙරිණි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ක්‍රියාත්මක කරන 2030 තිරසර සංවර්ධන සැළස්මට අනුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා පුද්ගලික අංශයේ කර්මාන්ත සඳහා ජාත්‍යන්තර ප්‍රමීතීන් හඳුන්වාදීම මෙම වැඩසටහනේ මූලික අරමුණ විය. මෙම තිරසර වැඩසටහන් සැළැස්මට ඉළක්ක 17ක් අයත්ය. ඒ අතරින් දුගී භාවය තුරන් කිරීම, සෞඛ්‍ය ක්‍ෂේත්‍රය නගා සිටුවීම, දළ ජාතික නිෂ්පාදිතය සඳහා කර්මාන්තවල දායකත්වය වැඩි කිරීම, කාර්මික ක්‍ෂේත්‍රයේ රැකියා නියුක්තිය වැඩි කිරීම, අගය එකතු කළ නිෂ්පාදන ප්‍රතිශතය වැඩි කිරීම වැනි ඉළක්ක ප්‍රධාන වේ.
ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්‍ෂේත්‍රයේ ශීඝ්‍ර වර්ධනයක් පසුගිය කාලයේ පෙන්නුම් කර තිබෙන අතර මෙරට දළ ජාතික නිෂ්පාදිතයෙන් 30%ක දායකත්වයක් කර්මාන්ත අංශයෙන් ලබා දෙන බවත්  එය ජපානය ඕස්ට්‍රියාව, ස්පාඤ්ඤය වැනි දියුණු රටවලින් ලබා දෙන අනුපාතයට සමාන බවත් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා සඳහන් කළේය.
රටක ආර්ථික සංවර්ධන දැක්මේ ප්‍රධාන ස්ථානයක් අපනයන ක්‍ෂේත්‍රයට හිමි වන අතර පසුගිය වර්ෂයේදී මෙරට ඇමරිකානු ඩොලර් බිලියන 7.7ක් වටිනා කාර්මික අපනයන සිදු කළ බවත් එය අපගේ සමස්ත අපනයන ආදායමෙන් 2/3 ක් ‍ වන බවත් ඒ මහතා පැවසීය.
මේවන විට එක්සත් ජාතින්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය (UNIDO) විසින් ඇමරිකානු ඩොලර් මිලියන 10 ක ව්‍යාපෘති ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරයි.
මෙම අවස්ථාවට යුනිඩෝහි විශේෂ නියෝජිත පිරිසක්, කර්මාන්තකරුවන්, රාජ්‍ය හා පෞද්ගලික අංශ නිලධාරීන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඇතුලු පිරිසක් සහභාගී වූහ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

රංගිරි දඹුලූ විහාරය ගැන රජයෙන් ප්‍රකාශයක්

Shiran Viraj

අගමැති අස්වෙන්න ගිහින්.. ජනපති බාර නොගනී…

Shiran Viraj

Thanks to VR, your office will resemble a tropical island

Shiran Viraj
Translate »