mediahumanrights.lk
Entertainment Entertainment News News

බඩගෝස්තරවාදය මං ළඟ නැහැ

මේ සිනමාකරු වංචනිකයි මම සටන් කරනවා
– අනෝමා ජනාදරී ආවේගශීලි ප්‍රකාශයක…
කාන්තාව පීඩනයට පත්වීම පිළිබඳ නැඟී සිටීමේ අවශ්‍යතාවය මට දැඩිව තිබෙනවා. ඒක යුගයේ අවශ්‍යතාවය. අනෙක් පැත්තෙන් මම අම්මා කෙනෙක්. මට දරුවෝ කියන්නේ දරුවෝ. දරුවෝ ඇඟේ එල්ලගෙන වන්දි මුදල් අරගෙන ජීවත් වෙන්න මට උවමනාවක් නැහැ. මේ සමාජ දේ්ශපාලන දැක්මත් එක්ක අපි විවාහ වෙන්නේ. ඒ සමාජ මූලාශ්‍රයන් බිඳ වැටෙන කොට මට එතැන රැඳීමේ උවමනාවක් නෑ.
ඇය ලාංකේය සිනමාව තුළ විප්ලවීය චරිතයක්. තවමත් ඒ විප්ලවකාරී සිතුවිලි ඈ කෙරෙන් තුරන් වී ඇති බවක් පේන්න නෑ. කලා ක්ෂේත්‍රය තුළ මුලින්ම අපි ඈ හඳුනා ගත්තේ වේදිකාවෙන්. ඉන් පස්සේ පුංචි තිරයෙන්. දැන් සිනමාවෙන්. ඈ අනෝමා ජනාදරී. ශ්‍රී ලාංකික සිනමා ප්‍රේක්ෂක ප්‍රජාව ඈ කෙරෙහි අවධානය යොමු කරන්න පටන් ගත්තේ ඈ රඟපෑ ‘තනි තටුවෙන් පියාඹන්න’ චිත්‍රපටය නිසා. මේ නිර්මාණය වෙනුවෙන් රංගනය වෙනුවෙන් ඈ නොයෙක් කැප කිරීම් කළා. අභියෝග රැසකට මුහුණ දුන්නා. කලා භාවිතය වෙනුවෙන් තමන් තුළම ප්‍රතිරාව රැගෙන නිශ්චිත මානයකින් යුතුව නිර්මාණකරණයේ යෙදෙන ඇයට ඇය වෙනුවෙන්ම නිර්මාණය වූ ඈටම ආවේණික වූ දැක්මකින් යුතුව කටයුතු කරන්නියක්. ඇගේ ඊළඟ සිනමා රංගනය වුුණේ සංජීව පුෂ්පකුමාරගේ ‘දැවෙන විහඟුන්’ චිත්‍රපටයයි. එය ජාත්‍යන්තර වශයෙන් ප්‍රදර්ශනය වූවක්. තවමත් මෙරට ප්‍රේක්ෂක ජනතාව වෙනුවෙන් ප්‍රදර්ශනය වෙලා නැහැ. කෙසේ වෙතත් සිනමා කලාව මෙන්ම ජීවිතය පිළිබඳත් කතාබහකට අපි ඈත් සමඟ එක් වුණා.
මේ දිනවල ඇගේ වැඩි අවධානය යොමු වී ඇත්තේ ග්‍රන්ථකරණය වෙනුවෙන්ය. පසුගිය කාලයේ ඇගේ ජීවන චරිතාපදානය කොටස් තුනකින් යුතුව ප්‍රකාශයට පත් වුණා අපට මතකයි. ඇගේ නවතම ග්‍රන්ථය මෙරට බොහෝ දෙනෙකුගේ අවධානයෙන් ගිලිහී ගිය මාතෘකාවක්.
‘ප්‍රධාන වශයෙන් මගේ මාතෘකාව වෙන්නේ ලිංගික අධ්‍යාපනය. මේ මාතෘකාව යටතේ විවිධ මත තිබෙනවා. ඒ වගේම විවිධ දුර්මත තිබෙනවා. අදටත් ලංකාව තුළ නිසි ලිංගික අධ්‍යාපනයක් තිබෙනවා ද යන්නත් අපට ගැටලුකාරී තත්ත්වයක්. ඒ නිසා තමයි මම මේ පොත කරන්න පටන් ගත්තේ. මේක අනුවර්තනයක් විදියට තමයි එන්නේ. මේ පොත මට ලැබිලා දැන් අවුරුදු 15 ක් පමණ වෙනවා. මීට කලින් මම රචනා කළේ මගේ ජීවිත කතාව. ඒක කොටස් 2 – 3 – 4 විදියට පළ කළේ. දැන් හතරවැනි කොටසත් කරලා ඉවරයි. ඒකෙන් කියවෙන්නේ මගේ කුඩා කාලය, තරුණ කාලය, මගේ විවාහය, මගේ කන්‍යාදානය, මගේ පළමු දරුවා යනාදී වශයෙන් මං ගැන විවරණයක්. නමුත් අලුතින් මම ලියන පොත ඊට වඩා ගොඩක් වෙනස්. ඒක සම්පූර්ණයෙන්ම අධ්‍යාපනික වටිනාකමකින් යුතු පොතක්.’
අනෝමාට මෙවන් පොතක් රචනා කරන්නට හේතුකාරක සම්පාදනය වී ඇත්තේ ද වර්තමාන සමාජයෙන්ය. එදිනෙදා අපට අහන්නට දකින්නට ලැබෙන ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, ලිංගික හිංසන මේ සියල්ල තුළ ඇය අවබෝධ කරගත් කාරණයක් වුණා මෙරට ලිංගික අධ්‍යාපනයේ නිසරු බව මෙන්ම හරි ලිංගික අධ්‍යාපනයක් නැතිකම. එසේම නිදහස් ලිංගික අධ්‍යාපන ක්‍රමවේදයක් නොවීම.
‘ලංකාවේ අපචාරයට ලක්වන දරුවන් ප්‍රමාණය අතින් ගත්තම විශාලයි. උදාහරණයක් වශයෙන් ගත්තොත් නුවර පළාත ගත්තොත් එහි ආණ්ඩුකාරතුමිය වරක් සඳහන් කළා ගැහැනු දරුවන් 400 ක් පමණ අපචාරයට ලක්වෙලා තියෙනවා කියලා නිවෙස ඇතුළතදී. මෙවන් තත්ත්වයක් උදාවෙන්න මූලික හේතුවක් තමයි ඔවුන්ට නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැතිවීම. මේ නිසා මම නම් දැඩි ලෙස ඉල්ලා සිටින්නේ ලිංගික අධ්‍යාපනය උසස් පෙළ පන්තිවලට අනුයුක්ත කරන්න කියලයි.
වත්මන් සමාජය තුළ ලිංගික අධ්‍යාපනය යන්න තවමත් නිදහස් ලෙස පවතිනු දැකිය නොහැකිය. තවමත් එය රහසිගත දෙයක්. එහෙත් අනෝමා පවසන්නේ එය තවදුරටත් රහසිගත දෙයක් නොවිය යුතු බවයි. එකිනෙකාට විවෘත විය යුතු මාධ්‍යයක් බවයි. මේ මාතෘකාවේ මූලාරම්භය ඈ සනිටුහන් කළේ ඇගේ ජීවිතය තුළින්ය. නිවෙස ඇතුළේ වන ලිංගිකත්වය තුළ ගැහැනු දරුවා ලෙසින් ඇය කෙලෙස ඊට මුහුණ දුන්නේ ද යන්න අගේ ජීවන චරිතාපදානය තුළ විවෘතව සාකච්ඡා කරන්නට අනෝමා එඩිතර වුණා. අනුන්ට උපදෙස් දෙන්නට පෙර තමන් ආදර්ශයෙහි පිහිටා එය කළ යුතු බව හුදෙක්ම ඇගේ දැක්ම වුණා.
‘මේ පොතේ මුල් ග්‍රන්ථය එංගලන්තයේ පළ වූවක්. ඒත් මට අවශ්‍ය මේක ලංකා පොළවේ පැල කරන්න. ඒ නිසා අනුවර්තනයක් විදියට තමයි එළි දකින්නේ. මේ වෙන කොට බොහෝ වැඩ කොටස් ඉවර වීගෙන එනවා. මේ අවුරුද්ද අවසානයේදී වගේ එළි දක්වන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේක සම්පූර්ණයෙන්ම අධ්‍යාපනික වටිනාකමකින් යුත් ග්‍රන්ථයක්. වර්තමානයේ පාසල් අධ්‍යාපන ක්‍රමය තුළ වුණත් මේ මාතෘකාව ඇතුළත් කරලා තිබුණාට පන්ති කාමරය තුළ ළමයින්ට නිසි අවබෝධය ලැබෙන විදියට සාකච්ඡා වෙන්නේ නෑ. මම දැකලා තියෙනවා නව වන ශ්‍රේණියේ පොතේ ඇතුළත් මේ පාඩමේ එන රූප සටහන්වල ලිංගික අවයව කළු පාට කරලා. මේ ජාත්‍යන්තර පාසල්වල පවා. ඉතිං කොහොමද අපි අපේ දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා දෙන්නේ. මේ නොදැනුවත්කම නිසා අපේ රටේ ගැහැනු දරුවන් අපි නොදන්නවාට අති විශාල වශයෙන් අපචාරයට ලක් වෙනවා. පිරිමි දරුවනුත් අපචාරයට ලක් නොවනවා නොවෙයි. නමුත් ඒකෙන් වැඩිම කරදරයක් විඳින්නේ ගැහැනු දරුවෝ. අනෙකෙකුගේ කලලයක් තම අකමැත්තෙන් නව මාසයක් තම කුස තුළ තියාගෙන ඉන්න සිද්ධ වෙනවා. ඒක කොයි තරම් නම් අවාසනාවක් ද? මොන තරම් මානසික විචිකිච්ඡාවක් ද හම්බවෙන දරුවටත්, අම්මටත්.
අනෝමා ප්‍රශ්න කරනවා. අපේ රටේ මිනිසුන් සංස්කෘතිකවත්, ආගමිකවත් යැයි පවසනවා. එවන් පරිසරයක් රට තුළ, සමාජය තුළ වේ නම් කාන්තාවක් නිරුවතින් පාරේ ගිය ද කරදරයක් විය නොහැකි බවයි ඇගේ මතය.
එතකොට සිනමාව . . . මේ ඇගේ ජීවිතය හා ළබැඳි වූ තවත් වැදගත් මාතෘකාවක්. අනෝමා සිනමාවේ දැන් ඉන්නේ කොතැනද? අපි ඇගෙන්ම අහමු.
‘ඇත්තටම දැන් මම සිනමාවේ ඉන්නේ කොතැනද? ඒක දීර්ඝව කතා කළ යුතු විස්තීර්ණ මාතෘකාවක්. මම කතා කළේ සිනමාව ගැන කාන්තාව ගැන. චිත්‍රපට හදපු බොහෝ අධ්‍යක්ෂවරු තමන්ගේ නිර්මාණය වෙනුවෙන් පෙනී හිටි කාන්තාවගේ කරපිටින් නැග්ගා. ඔවුන් ඒ කාන්තාවන් අපහරණයට ලක් කළා. මම මේ කියන්නේ මා ඇතුළු සියලුම කාන්තාවන් ගැන. අපි ගත්තොත් එහෙම දම්මි ෆොන්සේකා, චන්දි රසිකා, අනූෂා සොනාලි, සුමනා ගෝමස්, ගයේෂා පෙරේරා. මේ අතර මම ඉන්නේ වාණිජ නොවන අංශයේ. වාණිජ සහ වාණිජ නොවන සියලුම අංශයේ කාන්තාවන් අපහරණයට ලක්වෙලා කියලයි මම හිතන්නේ.’
ඇගේ මේ කතාවෙන් මට හැඟුණේ ඈ ඒ තුළ කලකිරීමට පත්වී ද? දුක්වී ද, අසරණ වී ද යන්නයි. එහෙත් ඊළඟ ඇගේ පිළිතුරෙන් මට හැඟී ගියේ ඒ තුළ ඈ නව පන්නරයක් ලබමින් දැඩි සිතැත්තියක වී ඇති බවයි.
‘මම කිසිසේත්ම කලකිරිලා නෑ. මේක හරි තැනට ගන්න ඕන කියන දැඩි අධිෂ්ඨානයක මම ඉන්නවා.’
අනෝමා නැමැති ගැහැනිය තුළ ජීවත්වන අධිෂ්ඨාන ශක්තිය ඇය පරයා නැඟී සිටිනු මා දුටුවා.
‘මේ වෙනකොට මම ලබපු අත්දැකීම් මේකට මට පන්නරයක්. මට මේ අත්දැකීම පළමුවෙන් ලැබෙන්නේ ‘තනි තටුවත්’ සමඟ. ඒ චිත්‍රපටයේ මට කිව්වේ නොතිබූ ගිවිසුමකට ගෙවිය නොහැකියි කියලයි. ගිවිසුමක් නොතිබුණාට මට ගෙවන්න. වික්කේ මගේ ඇඟ. ඒකයි මගේ අදහස වුණේ. ඊට පස්සේ 2013 අලුත් තරුණයකු අලුත් පිටපතක් අරගෙන එනවා. ඔහු මට කියනවා මේක අක්කා නිසා මම ලිව්වේ. අක්කාට විතරයි මේක කරන්න ඉන්නේ. මේක මට කරලා දෙන්න කියලා. ඒ අතරතුර කතාබහ වර්ධනය වෙලා 2015 රූගත වෙනවා. ඉදිරිපත් කළා පිටපතක්. ඒකේ තියෙන්නේ 88 – 89 කාලයේ සැමියා මියගිය බිරිඳක් දරුවෝ 08 දෙනකුත් සමඟ ජීවිතයට මුහුණ දෙන ගැහැනියක්. මේ පිටපතට අනුව මම කැමැති වෙනවා මේ පිටපතට අනුව ඇය විඳින අනේක විධ දුක් කම්කටොලුවලට. ඒක ලොකු වපසරියක් තිබුණ චරිතයක්. ඒ අනුව ඒක කරනවා. ඊට පස්සේ සිද්ධ වෙන්නේ මේකට ජ්භදඤ කරලා තියෙන්නේ පිටරටින් ඔහුට. ඔහු මේක විදේශ සම්මාන උලෙළවලට ගෙනි යනවා. රූගත කළේ පිටපත තමයි. එක දර්ශනයක් මම කරන්නේ නෑ. ඒක අනවශ්‍ය දර්ශනයක් නිසා. මෙතැන්දී මේ පිටපතට අනුව රූගත කරපු චිත්‍රපටය අරගෙන මේ පුද්ගලයා විදේශ සම්මානවලට යනවා. මේ වන විට කොරියාව, ජපානය, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය, ඉතාලිය, ජර්මනිය යනාදී රටවල සම්මාන උලෙළවල ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඔහු ඒ චිත්‍රපටය ඉදිරිපත් කරලා විදේශ සම්මාන, කීර්තිය, මිල මුදල් සියළු දේවල් උපයාගෙන තිබෙනවා. දැන් ඒ චිත්‍රපටය මේ රටේ ප්‍රදර්ශනය කළ අවස්ථාවේ මම අහම්බෙන් දැනගෙන බලන්න ගියා. කොළඹ ඉඳන් තනිවම යාපනයට ගියා. ඒක බලත්දි සම්පූර්ණයෙන්ම මේක ඛ්භබ කරලා ඛ්ඩධන කරලා මොකක්දෝ මසල වඩයක් මෙහේ පෙන්වන්නේ. ඒකේ අසාධාරණය වෙන්නේ රඟපාපු මට සහ මේ රටේ ප්‍රේක්ෂකයාට. අධ්‍යක්ෂවරයාටත් ඒකෙන් හානියක්. මේ සිනමාකරු හරිම වංචනිකයි. මේ වංචනිකයා මුලින්ම කළේ ඔහුගේ මුල් චිත්‍රපට නිළියට. ඇය සියලු දේ දරාගෙන නිහඬ වුණා. මට එහෙම ඉන්න බෑ. මම ඒ වෙනුවෙන් සටන් කරනවා.
අනෝමා කතා කරනුයේ වේදනාවකින් කියා මට දැනණුා. ඈ හැම විටම ප්‍රකාශ කළේ මේ තුළින් ඈට විශාල අසාධාරණයක් සිදු වී ඇති බවයි. ‘තනි තටුුවෙන්’ චිත්‍රපටයෙන් පසු ඈට තම රංගන දායකත්වය පිරිනැමීමට හැකි වූයේ එක් චිත්‍රපටයකටය. ඒ මාරියෝ ජයතුංග අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයට වුව ද එය මාරියෝගේ මිය යාමත් සමඟ ප්‍රදර්ශනය කරගත නොහැකි විණ. වසර 10 කට පසු ඇය රඟපෑ චිත්‍රපටය ද වර්තමානය වන විට ඇයට දැවෙන ප්‍රශ්නයක් වී ඇත.
සිනමා ජීවිතය එසේ වුව ද දැන් ඇගේ පෞද්ගලික ජීවිතය තුළ ජීවත්වන ගැහැනිය කෙබඳු විය හැකි ද?
‘ඇත්තටම මට විශාල සමාජ, දේශපාලන දැක්මක් තියෙනවා. ඒ තුළ පිහිටා විශේෂයෙන්ම කාන්තාව පිළිබඳ මම මැදිහත් වෙලා වැඩ කරනවා.
කාන්තාව පීඩනයට පත්වීම පිළිබඳ නැඟී සිටීමේ අවශ්‍යතාවය මට දැඩිව තිබෙනවා. ඒක යුගයේ අවශ්‍යතාවය. අනෙක් පැත්තෙන් මම අම්මා කෙනෙක්. මට දරුවෝ කියන්නේ දරුවෝ. දරුවෝ ඇඟේ එල්ලගෙන වන්දි මුදල් අරගෙන ජීවත් වෙන්න මට උවමනාවක් නැහැ. මේ සමාජ දේ්ශපාලන දැක්මත් එක්ක අපි විවාහ වෙන්නේ. ඒ සමාජ මූලාශ්‍රයන් බිඳ වැටෙන කොට මට එතැන රැඳීමේ උවමනාවක් නෑ.
අම්මා කියන තැන බලනකොට මම විශ්වාස කරනවා මම හොඳ අම්මා කෙනෙක් කියලා. ඔවුන් නිසි පරිදි නිසි මාර්ගයට යොමු කරලා තියෙනවා. හොඳ අධ්‍යාපන පසුබිමක් ලබා දීලා තියෙනවා. කුඩා කාලයේ ඉඳලා ඔවුන් දෙන්නව ඉතාම හොඳින් ස්ථානගත කරලා තියෙනවා. ඒ නිසා මට ඒ ගැන පසුතැවිලි වෙන්න කාරණයක් නෑ. මම පසුතැවිලි වෙන එකම කාරණය තමයි මං වගේ ගැහැනු දරුවෝ දෙන්නෙක් හදන්න වෙච්ච එක. ඒක මට දැඩි පසුතැවිල්ලට කාරණයක්. මම හිතුවේම මම පිරිමි දරුවෝ හදන්නේ කියලා. නමුත් මට සිද්ධ වුණේ ගැහැනු දරුවෝ දෙන්නෙක් හදන්න.
අනෝමා ජනාදරී වෘත්තීය නිළියක්. ඇය ජීවත් වෙන්නේ රංගනයෙන් සහ ග්‍රන්ථකරණයෙන්. නිළි ජීවිතය මේ විදියට අපහරණය වෙත්දී තවදුරටත් ඇයට එය ජීවන වෘත්තීය කරගත හැකිද? අපට පැන නගින ගැටලුව එයයි. එහෙත් මේ ප්‍රශ්නය හමුවේ ඇය අධිෂ්ඨානශීලීය. ඇයට අවශ්‍ය ඒ වෘත්තීයමය තත්ත්වය කෙසේ හෝ ස්ථාපිත කරගන්නයි. ඒ වෙනුවෙන් ඇය සටන් කරන්නට සූදානම් බවයි පවසා සිටියේ. ඈ විශේෂයෙන් ගෙනහැර දැක් වූයේ බීජිං ගිවිසුම පිළිබඳවය. ඩිජිටල් තාක්ෂණය ඔස්සේ නළුවාටත් නිළියටත් අසාධාරණය නොවී ඉන් ප්‍රතිලාභ ලබන ක්‍රමවේදයන් පිළිබඳ එහි සඳහන් වුව ද එය තවමත් ලංකාවේ වලංගුභාවයට පත් නොවීම පිළිබඳ මේ වන විට ඇගේ අවධානය යොමු වී ඇත. මේ වලංගුභාවය ඇය දැඩි ලෙස ඉල්ලා සිටිනවා. මෙය කළ හැක්කේ රජයට පමණය. එබැවින් එය හැකිතාක් ඉක්මනින් බලාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියි. බීජිං ගිවිසුමේ සමුළුවට අපේ රට සහභාගි වෙලා තිබෙනවා. සහභාගිත්වය පමණ ද අපට තියෙන්නේ. ඇයි ඒක අපට වලංගුකර ගන්න බැරි. ඇය ප්‍රශ්න කරනවා.
‘මම බඩගෝස්තරවාදයට රඟපාන්නේ නෑ. මම රඟපානවා නම් ඒ වෙනුවෙන් කැප වෙනවා. මට තිබෙනවා මටම බැඳුණු ගිවිසුමක්. කලාව අපහරණය කරන්න බෑ. කලාව මම කරන්නේ ප්‍රේක්ෂකයන් . . . . . . වෙනුවෙන් තමයි මම කලාව භාවිත කරන්නේ’ ඒ ඇගේ දැක්ම.
අනෝමා ජනාදරීගේ ඉදිරිය තීරණය වන්නේ ද මේ දැක්ම තුළමය.

( උපුටා ගැනීම සරසවිය පුවත් පත ඇසුරෙනි )

Related posts

රුපියල අදත් බාල්දුයි.. ඩොලරය තව උඩ යයි..

Shiran Viraj

වැසි අඩු වුනත් නැවතිල්ලක් නැහැ

Shiran Viraj

විදුහල්පතිවරු අද වැඩ නෑ

Shiran Viraj