mediahumanrights.lk
Entertainment Entertainment News News

අදත් මා රංගනය අතහැර නෑ තරුෂි පෙරේරා

තරුන් පුතා පියෙන් පිය නඟා සෙමෙන් සෙමෙන් ඇවිදගෙන ආවා. එයාගේ නිවෙස ඉදිරිපස සිටින අමුත්තෝ දෙස තරුන් අකේන් තෙන්නකෝන් පුතා බැලුවේ කුතුහලයෙන්. ඒත් එයා බය වුණේ නැහැ.
“අම්මා…… අම්මා……”
අපේ මුහුණ බලාගෙනම තරුන් පුතා කෑ ගැසුවේ පුතාගේ අම්මට. පුතාගේ හඬ ඇසුණු සැණින් ඉදිරිපස දොර ළඟට දුවගෙන ආවේ එයාගේ අම්මා.
“ආ….”
තරුන් පුතාගේ අම්මට කියැවුණේ එක්වරම. ඒ පුතාගේ අම්මා වෙන කවුරුවත් නොවෙයි ඔබ කවදත් ආදරය කරන සුන්දර රංගන ශිල්පිනිය තරුෂි පෙරේරා. කාලයකට පස්සේ ඈව හමුවීමට සිතාගෙන ගිය අපව ඈ පිළි ගත්තේ සුපුරුදු ආදරණීය ස්වරයෙන්.
“ම්…. කාලයකට පස්සේ. බලන්න අපේ පුතා දැන් චුට්ටක් විතර ලොකුයි.”
පුතාව වඩා ගන්න ගමන් තරුෂි පැවසුවේ ඔහුගේ මුහුණ සිඹින ගමන්.
“තරූට තරුන් පුතාගෙන් තොර ලෝකයක් නෑ වගෙයි.”
වසර දෙකයි මාස තුනක් තරම් වයසැති සුරතල් තරුන් පුතුගේ මුහුණ මිරිකන අතරතුර මා විමසුවා.
“මම සුමේධත් එක්ක විවාහ වුණාට පස්සේ ගෙව්වේ බොහොම සුන්දර ජීවිතයක්. ඒ ජීවිතය වඩාත් සුන්දර වුණේ තරුන් පුතා අපේ කැදැල්ලට පැමිණියාට පස්සේ. මටත් වඩා සුමේධ පුතාට බොහොම ආදරය කළා පමණක් නොවෙයි එයා ළඟින් හෙළ වුණේ රැකියාවේ කටයුත්තකට යන්න පමණයි. ඒ ගියත් ඔහු ඉක්මනට ම නිවසට ආවේ පුතා ගැන අහගෙන. ඒ නිසා අපි තුන්දෙනා අතර තිබුණේ අපූරු සබැඳීයාවක්. මේ සබැඳීයාව ඒ විදියටම පුතා ඇති දැඩි වුණත් අපේ සිත්වලින් මැකෙන එකක් නැහැ. අපට ඉන්න එකම දරුවා ඔහුයි. ඔහුයි අප දෙදෙනාගේ ජීවිතේ. අප දෙදෙනාගේ මුළු ලෝකය ම චූටි තරුන් පුතුයි.”
තරුෂි පවසන්නේ සිය එකම පුතු පිළිබඳව. තරුන් අම්මාගේ අතේ ඉඳගෙන එහාට මෙහාට වැනෙමින් තොරතෝංචියක් නැතිව සුරතල් වදන් කියනවා. හරියට පුතාගේ අම්මා අපත් සමඟ කතා කරනවාට අකැමැති වගේ. ඒ නිසා ම පුතාව තරුෂි ඇගේ අම්මා අතට දුන්නා.
“පුතා දඟ පැටියෙක් ද?”
“නිවසේ සියලු ම කටයුතු කෙරෙන්නේ මගේ අත් දෙකෙන්. උදව්වට කෙනෙකු සිටියත් ඒ සියලු ම දේ මගේ අත් දෙකෙන් ම කරන්නයි මට වුවමනා වී තිබෙන්නේ. උදේ හයට අවදි වන මා මුලින් ම කරන්නේ පුතාගේ කෑම සෑදීමයි. ඒ අතර අවදි වන පුතා හුරතල් කරන්නත් මා අමතක කරන්නේ නැහැ. ඒ වුණත් එයා අම්මට තිබෙන වැඩ කන්දරාව දැනගෙන දෝ මට වැඩිපුර කරදර කරන්නේ නැහැ. සමහර වෙලාවට ටිකක් දඟ කරනවා තමයි. ඒත් පුංචි ළමයි කොහොමත් දඟ නේ. ඒ දඟකම හැමවෙලාවෙ ම නොවෙයි. බොහොම ටික වෙලාවකටයි. අනෙක් වෙලාවට එයා බොහොම නිශ්ශබ්දව තනිවම එයාගේ වැඩ ටික කරගන්න පුතා දක්ෂයි.”
තරුෂිගේ අම්මාගේ අතේ ඉන්න තරුන් පුතා දෙස ම බලාගෙනයි තරුෂි පැවසුවේ. තරුෂිත්, පුතත් පෙනෙන්න සිටියත් තරුෂිගේ දයාබර සැමියා සුමේධ තෙන්නකෝන් පෙනෙන්න සිටියේ නැහැ.
“අද සුමේධ පෙනෙන්න නැත්තේ මොකද?”
“මම හිතන්නේ ඔයාලා පැමිණෙන වෙන දවස්වලට ඔයාලව පිළිගන්න එන්නේ සුමේධ. ඒත් මේ සැරේ නම් එයා ඔයාලා පිළිගන්න ආවේ නැහැ නේ ද? ඒකට හේතුව නම් සුමේධ ඉන්නේ ඩුබායිවල. එයා ඒ රටේ බැංකුවක රැකියාවක නිරත වෙනවා. මාස තුනෙන් තුනට සුමේධ මාවත්, පුතාත් බලන්න ලංකාවට එනවා. ඒ අතර තිබෙන නිවාඩුත් එක්ක මමයි, පුතයි ඩුබායි යන්නත් සිතාගෙන ඉන්නවා. පසුගිය දින ටිකේම ඔහු සිටියේ අපිත් එක්ක. ඩුබායි රට කියන්නේ බොහොම දුර ඈත රටකුත් නොවෙයි.”
තරුෂිගේ උවන සිනහමලින් පිරිලා. ඉතිරිලා.
“සුමේධ නැති අඩුව පුතාට දැනෙන්නේ නැද්ද?”
“ඇයි නැත්තේ. සුමේධ මෙහේ සිටිය කාලයේ තිබුණ ආදරය දැන් පුතාට නොලැබෙන නිසා දෝ කොහෙද ඔහු සමහර දවසට සාංකාවෙන් ඉන්න වෙලාවල් තිබෙනවා. ඒත් සුමේධ ස්කයිප් එකෙන් හැම දවසක ම කතා කරන නිසා ඒ සාංකාව ඉබේමයි දුරු වන්නේ. සුමේධ ඇවිත් යන සෑම දවසක ම එයා පුතාව බදාගෙන අඬනවා. තාත්තා අඬන බව දකින තරුන් පුතාත් අඬන්නේ ඊට නොදෙවෙනි ලෙසින්.”
තරුෂි සිය සැමියාට ආදරබර බිරියක්. තරුන් පුතාට ආදරබර මවක්. පුතා වෙනුවෙන් වගේම සිය සැමියා වෙනුවෙනුත් ඈ සිය ජීවිතය කැප කළා. වසර දෙකක කාලයක් රංගනයෙන් ඈත්ව සිටියා.
“යළිත් ඔබ සිටින්නේ රංගනයට පිවිසීමට තීරණය කරලා ද?”
“විවාහ වුණාට පස්සෙත් මා හොඳ නිර්මාණ කිහිපයකට ම දායක වුණා. එදත් මා රංගනය අතහැර දැමුවේ නැහැ. අදත් එහෙමම තමයි. පුතා ලොකු වුණාට පස්සේ හොඳ චරිතයක් ලැබුණොත් රඟපානවා කියන මතයේයි මා කවදත් සිටියේ. ඒ අතර ටෙලි නාට්‍ය දෙකක රඟපෑමට ආරාධනා ලැබුණා. ඉන් එකක් මෙගා ටෙලි නාට්‍යයක්. එහි ප්‍රධාන චරිතය වුණු අම්මාගේ චරිතයටයි මට ආරාධනා ලැබුණේ. මේ අම්මාට ලැබෙන්න ඉන්න දරුවා හා ඒ සැමියාට සිටින දියණියට සැබෑම මවක් වීමට මා සූදානම්. ළඟදීම රූගත කිරීමට නියමිත මේ ටෙලි නාට්‍ය ප්‍රධාන රූපවාහිනි සේවයක විකාශය වීමට නියමිතයි.”
තරුෂි රංගනයට පිවිසීමට සූදානම් වන්නේ අනිත් රංගන දක්ෂතා යළිත් සිහිපත් කරමින්.
“එහෙම වුණොත් තරුන් පුතා ළඟටම වෙලා ඉන්න ඔබට නොහැකි වේවි ද?”
අම්මාගේ උදව් තිබෙන නිසා මේ සියලු කටයුතු ටික මට බොහොම පහසුවෙන් කර ගැනීමට හැකියි. ඒ නිසා පුතාව අම්මා ළඟ තබා රූගත කිරීම්වලට යන්නටයි මා සිතාගෙන සිටින්නේ. හැමදාම රූගත කිරීම් නොවැටෙන නිසා පුතා ළඟ සිටීම ගැන ප්‍රශ්නයක් ඇති වන්නේ නැහැ. අද මා අසල ම මගේ මව සිටීම මට ලොකු ශක්තියක්. කුමන දෙයක් කළත් මා මුල්තැන දෙන්නේ මගේ පවුලටයි.”
තරුන් පුතාත්, ආත්තම්මාත් අතර ඇත්තේ නොබිඳෙන එකමුතුවක්. ඒ නිසයි තරුෂිට කිසිම බියක් නොදැනෙන්නේ. ඒ කටයුතු අතර ඈ තවත් කටයුත්තකටත් මුල පිරීමට සිතාගෙන සිටින බවයි පැවසුවේ.
“ඒ අලුත් කටයුත්ත කුමක් ද?”
“මා රඟපෑම තරමටම එදා පටන්ම කරගෙන ගිය සැලුන් එක ඉදිරි කාලයේදී නුගේගොඩ ප්‍රදේශයට අරගෙන යන්න සිතාගෙන ඉන්නවා. එහිදි මුල්තැන ලබාදෙන්‍නේ මනාලියන්ව සැරැසීමටයි. ඒ සඳහා ලැබෙන සෑම කටයුත්තක්ම භාර නොගෙන තෝරා බේරා ගත් අයගේ ආරාධනාවලට පමණක් සහභාගි වෙමින් සැලුන් එකේ කටයුතු ඉදිරියට කරගෙන යන්නට මා බලාපොරොත්තු වෙනවා.
තරුෂිගේ සිතේ අලුත් පැතුම් රාශියක් පෙළ ගැසිලා. ඒ පැතුම් සියල්ල සඵල කර ගැනීමටයි මේ දිනවල ඈ වෙහෙසන්නේ. ඒ වෙහෙස වීමට අවශ්‍ය ශක්තිය ඈ ළඟ බොහොමයි. මේ අතර ටික වෙලාවක් අම්මාව නොදැක්ක තරුන් පුතා තරුෂිව සොයාගෙන ආවා. ඔහුගේ මුහුණේ තිබුණු සතුට කියලා නිම කිරීමට බැරිතරම්. අම්මාටත්, පුතාටත් ඒ සොඳුරු සෙනෙහස විඳගන්නට හැර අප ඔවුන්ගෙන් සමුගත්තා.
(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

Related posts

සිවාජිලිංගම්ගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්

Shiran Viraj

ඇමතිවරයෙකුට හා නිලධාරීන්ට ජනපතිගෙන් සී ෂෙල්ස් සිට උපදෙසක්

Shiran Viraj

විශේෂඥ වෛද්‍යවරයෙක් NPP සෞඛ්‍ය ප‍්‍රතිපත්තිය හම ගහයි…

Shiran Viraj