mediahumanrights.lk
NewsSportsSports News

ජයග්‍රහණයේ සිහිනය ලංකාව වෙත හැරවූ අකිලට තියුණු සටනක් දුන් ඉන්දීය පිතිකරුවන් අතර ඊයේ තරගය දෝලනය වුණු හැටි

මෑත කාලයේ ක්‍රීඩා ලෝලීන්ට ක්‍රිකට් ක්‍රීඩාවේ ඇති අවිනිශ්චිත බව ඉතා දැඩිව දැනෙන්නට වූ තරගයක් ලෙස ඊයේ (24) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැති එක්දින තරගය නම් කළ හැකියි.
අකිල ධනංජය සුපිරි පන්දු යැවීමක නිරත වුවද මහේන්ද්‍ර සිං දෝණිගේ සහ බුවනේෂ්වර් කුමාර්ගේ වාර්තාගත සබඳතාවය නිසා ශ‍්‍රී ලංකාව සමග පැවති දෙවන එක්දින ක‍්‍රිකට් තරගය කඩුලු 03කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (24) සමත් වුණා.
තරගය පැවැත්වුණේ පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදීයි.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 236ක් රැස් කළා.
මිලින්ද සිරිවර්ධන ලකුණු 58යි. චාමර කපුගෙදර ලකුණු 40ක් රැස් කළා. ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 47ක තුළදී හිමි වූ ඉලක්කය ලකුණු 231ක්. ඔවුන් පන්දුවාර 44යි පන්දු 02ක් අවසානයේ කඩුලු 07ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යාමට සමත් වුණා.
ඉන්දීය කණ්ඩායම කඩුලු 02කට ලකුණු 113ක් ලබා ප‍්‍රබල ස්ථානයක පසු වූ අතර අකිල ධනංජය ශ‍්‍රී ලංකාවට ජයග‍්‍රාහී බලාපොරොත්තුවක් ඇති කළේ සුපිරි පන්දු යැවීමක නිරත වෙමින්.
නායක විරාත් කෝලි ප‍්‍රමුඛ මැදපෙළ ක‍්‍රීඩකයින් යළි ක‍්‍රීඩාගාරයට හරවා යැවූ අකිල ධනංජය ඉන්දීය කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කළා.
ඒ, ලකුණු 54කට කඩුලු 06ක් දවා ගනිමින්. ඉන්දීය කණ්ඩායම වරෙක ලකුණු 131කට කඩුලු 07ක් දැවී අසීරු අඩියක පසුවුණා.
අනතුරුව පිටියේ එක්වූ මහේන්ද්‍ර සිං දෝණි සහ බුවනේෂ්වර් කුමාර් අට වන කඩුල්ලට ලකුණු 100ක නොබිඳුණු සබඳතාවක් ගොඩනගමින් ඉන්දීය කණ්ඩායම අනපේක්ෂිත ජයග‍්‍රහණයකට රැගෙන ගියා.
ඔවුන් දෙදනාගේ සබඳතාව වාර්තා වූයේ අට වන කඩුල්ල සඳහා ඉන්දීය ක‍්‍රිඩකයින් දෙදෙනෙකු වාර්තා කළ හොඳම සබඳතාව ලෙසටයි. සිය එක්දින ක‍්‍රිකට් දිවියේ මංගල අර්ධ ශතකය වාර්තා කළ බුවනේෂ්වර් කුමාර් පන්දු 80කදී නොදැවී ලකුණු 53ක් රැස් කළා. මහේන්ද්‍ර සිං දෝණි නොදැවී ලකුණු 45යි.
පන්දුවෙන් දස්කම් දැක්වූ අකිල ධනංජය තරගයේ වීරයා ලෙස නම් කෙරුණා. පෙරේදා යුග දිවියට එළඹීමෙන් අනතුරුව ඔහු ක‍්‍රීඩා කළ පළමු තරගය ද මෙය වනවා. වසර 05කට පසු ශ‍්‍රී ලාංකික පන්දු යවන්නෙකු එක්දින තරගයක දී කඩුලු 06ක් දවාගත් පළමු අවස්ථාව ද මෙයයි.

Related posts

බුලත්සිංහල තවත් නායයාම් අවදානමක් – පවුල් 22ක් ඉවත් කෙරේ

Shiran Viraj

ජනවාරියේ දී සංචාරකයන් 75,000 පනී… වැඩිම රුසියාවෙන්.. ඊළගට ඉන්දියාවෙන්…

Shiran Viraj

පකිස්ථානයට කඩුලු 05ක ජයක්

Shiran Viraj
Translate »