ඉකුත් මැයි මස 9 දා පිළියන්දල නගරය දෙවනත් කරමින් නිකුත් වූ වෙඩි හඬ නිහඬ වී මේ වන විට සති පහක් නික්‌ම ගොස් අවසන්ය. එහිදී පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ නිලධාරීන්ට එල්ලවූ වෙඩි ප්‍රහාරයෙන් දැරියක ද ජිවිතක්ෂයට පත්වුණා.
පිළියන්දල පදිංචි ඩබ්. පී. රංජිත් සහ සුජීවා යුවලට ඔවුන්ගේ සුරතල් දියණියක් අහිමි කළ අනෙක් දෙදරුවන් වෙඩි වැදී රෝහල්ගත කළ එම අමිහිරි සිදුවීම අදත් පිළියන්දල වැසියන්ට ඇති කරන්නේ භීතියක්.
රංජිත් යුවලගේ වැඩිමහල් පුතනුවන් වන කොළඹ තර්ස්‌ටන් විදුහලේ උසස් පෙළ හැදැරීමට මග බලමින් සිටි සංදීප් රුක්‌ෂාන් මසකට ආසන්න කාලයක් රෝහල්ගතව සිට යළිත් සිය නිවසට පැමිණෙන්නේ ඉකුත් 07 වැනිදායි.
මාරාන්තික තුවාල සහිතව දිගු කලක් ජීවිතයත් මරණයත් අතර කළ සටනකින් අනතුරුව සංදීප් නැවත පැමිණෙන්නේ තමන් සමගින් සුරතල් වූ සිය වැඩිමහල් නැගණිය පෙනෙන්නට නැති නිවසකටයි.
“පුතාව පසුගිය හත්වැනිදා ගෙදර එක්‌ක ආව. මම දරුවො තුන්දෙනෙක්‌ව “හොඳ දරුවන්” ලෙස උස් මහත් කළ තාත්ත කෙනෙක්. ඒත්… ලොකු පුතාව ටිකට් කපල ගෙදර ගේද්දී එයාගෙ නංගි ගෙදර හිටියෙ නෑ . අද මට දරුවො තුන්දෙනාගෙන් දෙන්නයි ඉන්නෙ. පුතා නංගිව ඉල්ල ඉල්ල නිතරම අඬනව. කෑමක් බීමක් හරියට ගන්නෙ නෑ. මගේ දුව නැතිව අපිටවත් අපේ දරුවො දෙන්නටවත් ආපහු කවදාවත් හිනාවෙලා ඉන්න බැහැ කියල මතක් වෙන කොට තාත්ත කෙනෙක් විදිහට පපුව හිරවෙනව . ඒත් ආපහු අපේ දුව අපි ළඟට එන්නෙ නෑ, දැන් අපිට කරන්න වෙලා තියෙන්නේ මැරි මැරි උපදින ගමන් මේ දරුවො දෙන්න රැකබලා ගන්න එක විතරයි.” ඔවුන්ගේ පියාණන් පවසන්නේ එවන් දුක්මුසු කතාවක්.
“පුතාව පහුගිය 9 වැනිදා නැවත කළුබෝවිල රෝහලට ගෙනිහින් වෛද්‍යවරුන්ට පෙන්නුව. වෛද්‍යවරු දරුව පරීක්‍ෂා කරල කිව්ව බයවෙන්න දෙයක් නැහැ කියල.ඊට පස්‌සෙ තවත්රි පෝට් කීපයක් අරන් ඒවත් වෛද්‍යවරු පරීක්‍ෂා කළා. එතනදී වෛද්‍යවරු මට කිව්ව පුතාගේ අක්‌මාවෙ වෙඩි උණ්‌ඩ කොටස් තුනක් ද වකුගඩුවක තවත් පොඩි පොඩි කෑලි තුනක් විතර තියෙනව කියල. ඒව පිටතට අරගන්න බැරිද කියල ඇහුවහම වෛද්‍යවරු කියන්නෙ ඒව ගන්න අමාරුයි හැබැයි ඒකෙන් ශරීරයට හානියක් නැහැ කියල.
මේ සිදුවීමෙන් පස්‌සෙ විඡේදාස රාජපක්‍ෂ ඇමැතිතුමා, පොලිස්‌පතිතුමා රෝහලට ඇවිත් දරුවන්ගෙ දුක සැප බැලුව. වියදමට කියල රජයෙන් රුපියල් ලක්‍ෂ 10 ක් දුන්න. ඊට අමතරව කළුබෝවිල රජයේ රෝහලේ වෛද්‍යවරු හෙද කාර්ය මණ්‌ඩලය ඇතුළු සියලුම අංශ අපිව දැකල එහෙමත් නැත්නම් අපේ දුක දැකල කරපු සේවය මතක් කළ යුතුම වෙනව. ඒ තරම් උපකාරයක් අපිට රෝහලින් සිද්ධ කළා.
දුවගෙ ජීවිතය බේරල දෙන්නත් ඒ අය පුළුවන් තරම් උත්සහයක් ගත්ත. ඒත්… අන්තිමේදි දුව අපිව දාල ගියා. ඒ අහිංසක එකීට එහෙම වුණේ මොන වරදක් කළාට ද මහත්තයෝ.
මේ සිද්ධියෙන් පස්‌සෙ සමහරු තැන් තැන්වල කියල තියෙනව මමත් මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ කෙනෙක් කියල. මොන හේතුවක් උඩ මොකක් අරමුණු කරගෙන ඒක කිව්වද කියල කියන්න මම දන්නෙ නැහැ. බත් පැකට් එකක් විකුණල ජීවත් වෙච්ච අපට මේ සිද්ධියෙන් එක දරුවෙක් අහිමිවෙනව. පුතාගේ ජීවිතේ බේරුණත් ඒ දරුවගෙ අනාගතය පිළිබඳ අවදානමක් ගන්නවෙලා තියෙනව. එහෙම වටපිටාවක මේ වගේ බොරු බේගල් ඇදබාල මිනිස්‌සු අපෙන් මොනව බලාපොරොත්තු වෙනවද කියල අපිට තේරුමක් නැහැ.”
යනුවෙන්ද ඔහු සති අන්ත පුවත්පතකට සඳහන් කර තිබෙනවා.
(under the courtesy of nethfm news web)