mediahumanrights.lk
Local NewsNews

ලංකා ඊ නිවුස් කර්තෘ පදිංචි තැන සොයයි

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියෙහි ප‍්‍රධාන කර්තෘ සඳරුවන් සේනාධීර මහතා දැනට පදිංචිව සිටින ලන්ඩන් හි ලිපිනය මෙතෙක් සොයා ගැනීමට නොහැකිවූ බව ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා ඊයේ (16) ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්වූවේය.
එම නිවැරදි ලිපිනය සොයා ගැනීමෙන් පසුව සඳරුවන් සේනාධීර මහතාට එරෙහි පෙත්සම් 14 සංශෝධනය කර යළි ඉදිරිපත් කිරීමටද ජනාධිපති නීතීඥවරයා අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය.
අධිකරණ විනිසුරුවරුන් පිළිබඳ පුවත් සහ ලිපි මාලාවක් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ පළ කිරීමෙන් එම වෙබ් අඩවියේ කර්තෘ දොන් ප‍්‍රදීප් සඳරුවන් සේනාධීර මහතා අධිකරණයට අපහාස කර ඇති බැවින් එම වරදට ඔහුට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් 14 ක් ඊයේ (16) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අතර එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතීඥ වර්ණකුලසූරිය මහතා මෙම ඉල්ලීම කරන ලදී.
මෙම පෙත්සම් සිසිර ආබෲ , ප‍්‍රියන්ත ජයවර්ධන සහ නලින් පෙරේරා යන මහත්වරුන්ගෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවිණි. පෙත්සම සලකා බැලූ එම විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශවයෙන් කළ ඉල්ලීමට අවසර ලබාදුන් අතර එම පෙත්සම් 14 ලබන සැප්තැම්බර් 28 වැනිදා කැඳවීමට තීන්දු කළේය.
විනිසුරුවරුන්ගේ ගරුත්වයට හානි වන පුවත් එමඟින් පළ කර ඇති බවද එහි සඳහන් වේ. පදනම් විරහිත සහ අසත්‍ය පුවත් එලෙස පළකිරීම මඟින් විනිසුරුවරුන්ට පමණක් නොව සමස්ත අධිකරණ පද්ධතියටම අපහාසයක් කර ඇතැයිද පෙත්සම් වල සඳහන් වේ.
එබැවින් විත්තිකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරන සිතාසි නිකුත් කරන ලෙස පෙත්සම මඟින් ඉල්ලා තිබේ.
ඒ පිළිබඳ විභාගයක් පවත්වා විත්තිකරුට දඬුවම් නියම කරන ලෙසත් ,ඉදිරියට තවදුරටත් විනිසුරුවරුන් ගේ හෝ අධිකරණ ආයතන ,අධිකරණ නිලධාරීන් පිළිබඳ ලිපි හෝ වාර්තා පළ කිරීමෙන් වළකින ලෙස විත්තිකරුට නියෝග කරන ලෙස පෙත්සම් මඟින් ඉල්ලා ඇත.
එසේම වගඋත්තරකාර නීතිපතිවරයාට සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයාට නොතීසි නිකුත් කරන ලෙසද පෙත්සම් වල වැඩිදුරටත් සඳහන් වේ.

Related posts

කොරෝනා බිළිගත් හත්වන මරණයේ අවසන් කටයුතු සිදු කරයි

Shiran Viraj

දෙහිවල සත්වෝද්‍යානය පිළියන්දල ප්‍රදේශයට රැගෙන යාමට ඇමතිවරයාගේ අවධානය

Shiran Viraj

CEB සේවකයන් 24,000ක් ඉවත් කරනවා…

Shiran Viraj
Translate »