28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Local News News Political

මෝදි එන්නේ වෙසක් සිරි නරඹන්න නෙවෙයි – ඉන්දියාව අපේ ඓතිහාසික සතුරෙක්

ජනතාවගේ අනුමැතියකින් තොරව ඉන්දියාව සමග අත්සන් කරන ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට ඉඩනොදෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ අද (24) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
මන්ත්‍රීවරයා එහිදී මෙසේද සඳහන් කළේය.
වෙසක් උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස ඉන්දියානු අගමැති මෝදි එනවා කිව්වාම බොහෝ දෙනෙක් හිතුවේ වෙසක් සිරි නරඹන්න එනවා කියලා.  ඇත්තෙන්ම එන්නේ වෙසක් සිරි නරඹන්න නොවේ.  යමපාලන දන්සැලෙන් බඩ පැලෙන්න කාලා ඉන්දියාවටත් කෑම අරගෙන යන්න.  මේ දන්සැලේ තිබෙන්නේ දුම්තෙල් බත්, අයිස්ක්‍රීම් කිරි කෝපි නොවේ.  ත්‍රිකුණාමලය වරාය, තෙල් ටැංකි සහ එක්ටා.  වෙස්සන්තර රජ්ජුරුවෝ නම් පින් තකා දන් දුන්නේ තමන්ගේ ධනය.  නමුත් මේ පාලකයින් ඉන්දියාවට දන් දෙන්න යන්නේ සොබා දහමෙන් මුතුන් මිත්තන්ගෙන් අපට ලැබුණු උරුමය.
ත්‍රිකුණාමලය කියන්නේ ලොව විශිෂ්ටතම ස්වභාවික වරාය දහයෙන් එකක් පමණක් නොවේ.  ආසියාවේ උපාය මාර්ගික වශයෙන් වැදගත්ම ස්වභාවික වරාය.  මේ වරාය අත්පත් කර ගන්න ඉතිහාසය පුරා ඉන්දියාව, පෘතුගාලය, ප්‍රංශය, නෙදර්ලන්තය, එංගලන්තය සහ ජපානය යුද වැදිලා තිබෙනවා.  බ්‍රිතාන්‍ය 1948 දී ලංකාවට නිදහස දුන්නත් ත්‍රිකුණාමල වරාය ඔවුන් තියා ගත්තා.  1957 දී බණ්ඩාරනායක අගමැතිතුමා තමයි වරාය නැවත ලංකාවට අත්පත් කර ගත්තේ.  එහෙව් වරායක් ලෝක බලවතෙකු වීමට සිහින මවන ඉන්දියාවට භාර දීම නරියාට කුකුලන් බාරදීමක්.
ඉන්දියාව කියන්නේ අපේ ඓතිහාසික හතුරා.  මහවංශයේ තිබෙන්නේ වසර 2,600 පුරා ඉන්දියාව විසින් ලංකාව ආක්‍රමණය කළ හැටිත් ලංකාව නිදහස පතා සටන් කළ හැටිත් දැක්වෙන කතාන්දරය.  අගමැතිතුමාගේ මාමා ඉන්දියානු හමුදා උතුරට ගෙන්නා ගෙන මහ විනාශයක් වුණා.  දැන් ත්‍රිකුණාමල වරාය ලබා දීමෙන් ශ්‍රී ලංකාව සදහටම ඉන්දියාවේ ප්‍රාන්තයක් වීම නවත්වන්න බෑ. ත්‍රිකුණාමල ටෙල් ටැංකිවලින් පටන්ගෙන මේ ගමන ශ්‍රී ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් වීම දක්වා ගමන්කිරීමනම් නතර කරන්න බැරිවෙනාවා කියන අනතුරු ඇඟවීම අපි කරනවා.
සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා ඉතාම දූරදර්ශි යෝජනාවක් ගෙනැවිත් තිබෙනවා.  ලංකාවට ඛණිජතෙල් රැස් කර තබා ගන්න පුළුවන් සති දෙකකට පමණයි.  එය ජාතික ආරක්ෂාවට තර්ජනයක්.  ජාතික ආර්ථිකයට තර්ජනයක්.  ඒ නිසා මෙම ටැංකි ලංකාවට අවශ්‍ය ඛණිජතෙල් රැස් කර තබා ගන්න පාවිච්චි කරමු කියලා.  එතුමා මේ යෝජනාව ප්‍රසිද්ධියේ පැවසීමෙන් පේන්නේ අවම වශයෙන් තෙල් ටැංකි ඉන්දියාවට ලබා දීම ඇමති මණ්ඩලයේ දී වත් සාකච්ඡා කරලා නැති බවයි. අගමැතිතුමන් තනිමතයට හිතුවක්කාරව මේ තීන්දු ගන්න බව තමයි සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමන්ගේ මේ ප්‍රකාශයෙන් පේන්නේ.
මේ ආණ්ඩුව ඊලඟ මැතිවරණයෙන් ගෙදර යයි.  නමුත් ලෝක බලවතුන් සමග ඇති කර ගන්නා මේ ගිවිසුම් වසර සිය ගණනකට වෙනස් කරන්න බැරි වේවි.  අපි සදහටම ලෝක බලවතුන්ගේ බල අරගලයේ දී ඒ පැත්තට මේ පැත්තට විසි වෙන පාපන්දුවක් වේවි. මොන්සූන් නම් පොත ලියු කප්රාන් නම් යුධ විශේෂඥයා සදහන් කරනව මේ සියවසේ වැදගත්ම මුහුද ඉන්දියන් සාගරයයි. ඉන්දියානු සාගරයේ වැදගත්ම ස්ථානය ශ්‍රී ලංකාවයි කියල. ලෝකයේ අනාගත බලවතුන් දෙදෙනා වන ඉන්දියාව හා චීනය අතර ඉන්දියාව සිදුවන බල අරගලයේ පාපන්දු පිටිය බවට ශ්‍රී ලංකාව පත්වීමේ භයානක පසුබිම සැකසෙමින් තියෙනවා. සයිප්‍රසය ඇෆ්ගනිස්ථානය ලෙබනනය මේසේ ලෝක බලවතුන්ගේ කෙළිබිම් බවට පත්වුනා. ශ්‍රී ලංකාවත් එවැනි තත්වයකට පත්වීමේ අවදානමක් මේ ගිවිසුම් හරහා සිදුවෙනවා.  රට කෑලි කඩලා විකුණන්න මේ ආණ්ඩුවට ජන වරමක් ලැබිලා නෑ.  ඒ නිසා ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කරන්න පෙර මේ ගිවිසුම් ජනමත විචාරණයක දී ජනතාවගෙන් අනුමත කර ගත යුතුයි කියලා අපි ආණ්ඩුවට බල කරනවා. ජනතාවගේ අනුමැතියකින් තොරව මේ ගිවිසුම් මේ මහපොළවේ ක්‍රියාත්මක කරන්න අපි ඉඩ තියන්නේ නෑ කියන අනතුරු ඇඟවීමත් අපි ආණ්ඩුවට කරනවා.
(under the courtesy of adaderana news web)

Related posts

තිරසර ලංකා – ජාතික මංගල්‍යය

Shiran Viraj

පඩු කරද ගහ කැපුවේ කැබිනට් අනුමැතියෙන්.. හිලවුවට දෙසීයක් හිටවනවා…

Shiran Viraj

හොඳම පොලිස් කොට්ඨාස ලෙස අනුරපුර හා තංගල්ලට තේරීපත්වේ

Shiran Viraj