27 C
Colombo
2024-07-07
mediahumanrights.lk
Local News News Political

බිලියනයක පාඩුව වසරකදී බිලියනයක ලාභයක් වෙලා

බිලිනයක පාඩුවක් ලැබූ ලංකා සීනි සමාගම වසරක කාලයක දී රුපියල් බිලියනයක් ලාභ ලබන තත්ත්වයට පත් කළ ද දැන් සීනි අලෙවි කිරීමට සිදුව ඇත්තේ නිෂ්පාදන වියදමටත් වඩා අඩුවෙන් යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පවසයි.
ඇමතිවරයා පවසන්නේ සීනි සඳහා පාලන මිලක් නියම කර තිබෙන බැවින් නිෂ්පාදනය සඳහා වැයවන මුදල පවා ලබා ගැනීමට නොහැකි වී ඇති බවයි.
අමාත්‍ය බදුයිදීන් මහතා මේ බව කියා සිටියේ සීනි කර්මාන්ත ශාලා භූමියේ දී යල කන්නයේ උක් අස්වැන්න නෙලීමේ මංගල්‍ය්‍යට සහභාගී වෙමිනි.
අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.
‘‘ මෙය විශාල අභියෝගයක්. වැඩියෙන් උක් වගාකර ඉතා පිරිසිදු උක් අස්වැන්නක් ලබාගෙන වැඩි නිෂ්පාදනයක් සිදුකිරීමේ භාරදූර කාර්යය රජයක් ලෙස අපට පැවරී තිබෙනවා. ශ්‍රී ලංකාවේ වාර්ෂික සීනි පරිභෝජනය මෙට්‍රික් ටොන් 500,000ක් පමණ වනවා. නමුත් එයින් අපි තවමත් නිෂ්පාදනය කරන්නේ මෙට්‍රික් ටොන් 40,000ක වැනි ඉතා සුළු ප්‍රමාණයක්. අනිත් සියලු සීනි පිටරටින් ගෙන්වීමට සිදුව තිබීම කණගාටුදායක දෙයක්. අපි මේ තත්ත්වය වෙනස් කරන්න නව කර්මාන්ත ශාලා තුනක් ආරම්භ කරන්න කටයුතු කර තිබෙනවා. එපමණක් නොවෙයි පැල්වත්ත හා සෙවණගල කර්මාන්තශාලා පවත්වාගෙන යන ලංකා සීනි සමාගම මගේ අමාත්‍යාංශය යටතට පත්වන විට රුපියල් බිලියනය පාඩුවක් ලබමින් සිටියා. වසරක කාලයක දී අපිට මේ පාඩුව රුපියල් බිලියනයක ලාභයක් දක්වා වර්ධනය කරන්නට හැකියාව ලැබුණා. ඒ අතරතුර දී රුපියල් මිලියන 640ක හිඟ බදු මුදලක් ද ගෙවා අවසන් කරන්නට අපිට පුළුවන් වීම විශාල ජයග්‍රහණයක් වනවා.“
එමෙන්ම සීනි කර්මාන්තය වැඩි දියුණු කිරීම සඳහා රජයේ දැඩි අවධානයක් යොමුවී ඇතැයි ද බදුයිදීන් අමාත්‍යවරයා කීවේය.
උක් වගාව පවත්වාගෙන යන වගාබිම් සඳහා නිවැරදි කළමනාකරණයකින් යුක්තවය ජල සැපයුම ලබාදීම සඳහා දැනටමත් වාරිමාර්ග අමාත්‍යාංශය සමඟ සැලසුම් දියත් කර ඇති බවත් වල් අලි උවදුර මැඩ පවත්වාගැනීමට අවශ්‍ය ස්ථානයන්හි අලි වැට ඉදිකිරීමට කටයුතු කර ඇති බවත් ඇමතිවරයා මෙහිදී සඳහන් කළේය.
‘‘ අපි මේ වර්ෂයේ දී වැඩි අවධානයක් යොමු කර තිබෙනවා වගාවේ සංවර්ධනය හා සුළු කම්කරුවාගේ සිට ඉහළම නිලධාරියා දක්වා නිවැරදි පුහුණුවක් ලබා දෙන්න. අපි තවමත් භාවිතා කරන්නේ මීට දශක ගණනාවකට පෙර සීනි කර්මාන්ත ශාලාව පටන්ගත්තු කාලයේ දී පවත්වාගෙන් ගිය ක්‍රමයන්මයි. අද ලෝකය තාක්ෂණික වශයෙන් ඉස්සරහට ගිහින්. නමුත් අපි ඒ විදියට ඉස්සරට ගිහිල්ලා නැහැ. අපිට අවශ්‍යයි. වැඩි අස්වැන්නක් හා වැඩි සීනි ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් උක් ප්‍රබේද ඒ වගේම පිරිසිදු ඵලදාවක් ගන්න පුළුවන් තාක්ෂණික ක්‍රම ගැන මේ වගාකරුවන්ට පුහුණුවක් ලබාදිය යුතුයි. නව පර්යේෂණ සිදුවිය යුතුයි. මේ ගැන අපි වැඩි අවධානයක් යොමු කරලා මේ වර්ෂය පුහුණු කටයුතු සඳහා වැඩි අවධානයක් යොමු කරන වර්ෂයක් බවට පත්කර තිබෙනවා. පසුගිය වර්ෂයේ ලබාගත් ලාභය අපි බැංකුවල තැන්පත් නොකර ඵලදායී ලෙස ආයෝජනය කරමින් නව යන්ත්‍ර සූත්‍ර හා උපකරණ ලබාගත්තා. අපි බලාපොරොත්තු වෙනවා වැඩි ඵලදාවක් ලබා ගනිමින් වැඩි කාර්යකෂමතාවක් ඇති කරමින් සීනි නිෂ්පාදනය වැඩිදියුණු කරන්න. “ යැයි අමාත්‍යවරයා පැවසීය.
කතෘ අයිතිය – අද දෙරණ

Related posts

වැඩිම කොරෝනා රෝගීන් ගණනක් වාර්තා වීම රටට ගෞරවයක් – අමෙරිකානු ජනාධිපති කියපු කතාව

Shiran Viraj

ලංකවට ගංජා කර්මාන්තයේ ප‍්‍රමුඛයා විය හැකියි…- ඩයනා

Shiran Viraj

පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ෂන අවසන් අදියරට

Shiran Viraj