කල්පිටිය ජැටියෙන් බත්තලංගුණ්ඩුව දුපතට යන ගමන ආරම්භ වුණේ එපරිද්දෙන්ය.සුපුරුදු පරිදි උදෑසන 8.30ට පමණ බෝට්ටුව දුපත වෙත යෑමට පිටත් විය.සතියකට දෙකකට සරිලන ආකාරයට අවශ්‍ය අඩුම කුඩුමත් දුපත් වාසීන්ගේ අතෙහි විය.අපට නුහුරු එහෙත් ඔවුන්ගේ ජීවන කතාව පෙළ ගැහෙන්නේ ඒ අයුරිනි.
කල්පිටිය කලපුව හරහා දිවෙන මේ බෝට්ටුවේ ගමනට බත්තලංගුණ්ඩුව දුපතට ලඟා වීමට පැය තුනක පමණ කාලයක් ගත වෙයි.ජැටියේ සිට නාවික සැතපුම් 30ක පමණ දුරක් කලපුව හරහා දුපතට යන ගමනේ ගෙවා දැමිය යුතුය.දකුණු පසින් දිවෙන විල්පත්තුවේ මායිමත් වම් පසින් එක පෙළට දිවෙන සෙසු දුපත් සමුදායත් නිසා කලපුවේ පාරිසරික සුන්දරත්වය නම් අපුර්ව අත්දැකීමකි.එහෙත් මේ පාරිසරික සුන්දරත්වය අභිබවා බෝට්ටුවේ තැන තැන වැටී සිටින මිනිසුන්ගේ ජීවිත කතාව නම් සුන්දර නොවන වග ජැටියට පැමිණි මොහොතේදීම පසක් විය.සියලු පීඩාවන්,දුෂ්කරතා විඳදරා ගනිමින් ඔවුහු ජීවන ගමන තරණය කරමින් හිදිති.
බෝට්ටුවේ සිටි සියලු දෙනාට අපි අමුත්තන් වූවෙමු.වරින් වර කිහිප දෙනෙකුම අප සමඟ කතාවට වැටුණේ ඒ නිසාවෙන්ය.කතාවෙන් කතාවෙන් බෝට්ටුවේ සහායකයා වූ රාජා අයියා අපගේ කුළුපග මිතුරෙකු බවට පත්විය. රාජා අයියාගේ ගම් පළාත රත්නපුරේය.රාජා කල්පිටියට එන්නේ රැකියාවටය.රත්නපුරේ රාජා දැන් බත්තලංගුණ්ඩුවේ රාජා වී හමාරය.දූපත් වැසියන්ටත් වඩා හොඳින් රාජා දූපත ගැන දන්නේය.
කලපුවේ සිසිල විඳිමින් පැමිණි ගමනේ විඩාබරකම දැනෙන්නට ගත්තේ දූපතට පය තැබීමෙන් අනතුරුවය.ගිනි ගහන අව්වත්,ගිනියම්ව තිබූ වැල්ලත් දූපතේ කතාව කීවා හා සමානය.
ධීවර වෘත්තීය මේ දූපතේ අනන්‍යතාවයි.වැල්ලේ එක පෙළට තිබූ එක එක ප්‍රමාණයේ බෝට්ටු,වාඩි ඊට සාක්ෂිය.කඩිමුඩියේ තම රජාකාරී කරන ධීවරයන්ය.මේ අතරින් බත්තලංගුණ්ඩුව වික්ෂෝපමාතා ධීවර සමිතියේ ලේකම් චාල්ස් ප්‍රනාන්දු මහතා අපගේ කාරියට සහය විය.
“මීට අවුරුදු දහයකට දොළහකට කලින් තිබුන තත්ත්වයෙන් දැන් මේ දූපත නැහැ.ධීවර රස්සාව වුණත් දැන් එන්න එන්නම වැටෙමින් තියෙන්නේ.මාළුත් අඩු වෙලා.ඉස්සර දවසකට දෙයියනේ කියලා මාළු කිලෝ තුන් හාරසීයක් ගොඩට ගේනවා.දැන් මාළු කිලෝ පනහක් හොයා ගන්න පුදුම දුකක් විදින්නේ.”
චාල්ස් මහත්මයා කතාව පටන් ගත්තෙම ඒ අයුරිනි.වසර තිස් පහක පමණ ඉතිහාසයකට හිමිකම් කියන බත්තලංගුණ්ඩුවේ අනන්‍යතාව අනතුරකට ලක්වී ඇත්ද?
“මෙහෙ වැඩි හරියක් ඉන්නේ මීගමුවේ ධීවරයෝ.එදා ඉදලම එහෙම තමයි.මුහුදටත් ආදරෙන් තමයි රස්සාව කළේ.කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැ.දැන් තහනම් ක්‍රම වලට මාළු අල්ලන අය නිසා කර්මාන්තය විනාශ වෙමින් තියෙන්නේ.කර්මාන්තය විතරක් නෙවෙයි මුහුදත් විනාශ වෙනවා. කල්පිටිය,මන්නාරම පැත්තෙන් එන අය තමයි ලයිලා,සුරුක්කු දැල් දාලා මාළු අල්ලන්නේ.ඩයිනමයිට් පවා දානවා.පුළුවන් තරම් බෝට්ටුවලට දාගෙන ඉතිරි මාළු මුහුදටම වීසිකරලා යනවා.මැරුණු මාළු මුහුදේ පාවී පාවී තියෙනවා.මහ අපරාධයක්.දැන් එන්න එන්නම මේ පැත්තේ මාළු අස්වැන්න අඩුවෙමින් තියෙන්නේ.දැනට අවුරුදු දොළහකට විතර කලින් අපි ගත්ත ආදායමෙන් දැන් ගන්නේ 20%ක් වගේ.ගොඩක් අය මෙහෙන් ගිහින්.මේ දුපතේ බෝට්ටු 700ක් 800ක් විතර තියෙනවා.තහනම් ක්‍රම වලට මාළු අල්ලන්නේ බෝට්ටු 50ක් විතර. මේ බෝට්ටු පනහ නිසා වෙන විනාසේ නම් පොඩි නැහැ.”
සාමාන්‍යයෙන් ධීවරයන් වසරකට අල්ලනු ලබන මත්ස්‍ය අස්වැන්න තහනම් ක්‍රම භාවිතයෙන් කර්මාන්තයේ යෙදෙන්නන් දිනකින් ලබා ගන්නා බව බත්තලංගුණ්ඩුව ධීවරයෝ පවසති.මෙහි පවත්නා විශාලතම හානිය එයයි.එම තහනම් ක්‍රම මඟින්, ඩයිනමයිට් දමා මාළු අල්ලන විට ඉතා විශාල ප්‍රමාණයක් අපතේ යන බව සැබෑවකි.එසේ වන විට හැකි තරම් ප්‍රමාණයක් බෝට්ටුවලට දමා ගන්නා අතර ඉතිරි මිය ගොස් සිටින මත්ස්‍යයන් මහමුහුදටම දමා යයි.
“මේ නිසා දැන් ආදායමත් බොහොම අඩු වෙලා තියෙන්නේ.ටිකෙන් ටික ධීවරයෝ මෙහෙන් යනවා.ඉස්සරහට නම් මේ රස්සාව කරන්න කට්ටිය නැතිවෙයි. මොකද අපි වුනත් අපේ දරුවන්ව මේ රස්සාවට යොමු කරන්න කැමැත්තක් නැහැ.ඒකට හේතුව තමයි මේ කර්මාන්තයට හොඳ අනාගතයක් පේන්න නැහැ.ධීවර ඇමතිතුමාගේ ඉදලා හැමෝටම අපි කියලා තියෙන්නේ තහනම් ලයිලා,සුරුක්කු දැල්,ඩයිනා වලින් මාළු අල්ලන එක නතර කරලා දෙන්න කියලා.තාමත් වැඩක් වෙලා නැහැ.”
මේබල් අම්මා,දිලිප් පවසන පරිදි කර්මාන්තයේ අනාගතය සුබවාදී නැත.දැනටමත් අතට ලැබෙන අදායම ජීවත්වීම සඳහා ප්‍රමාණවත් නොවෙයි.මේ වන විට දූපතේ ධීවර රැකියාව කරමින් හිදින්නේ තාත්තාගෙන්,මුත්තාගෙන් දායාද වූවක් ලෙසිනි.එදා, පරපුර වෙනුවෙන් මහත් ආඩම්බරයකින් හා ගෞරවයකින් යුතුව මුහුදු ගියද අද ඔවුන්ට කරන්නට සිදුව ඇත්තේ ලෙහෙසි පහසු කාරියක් නොවන වග අපි අත්දැකීමෙන්ම පසක් කර ගත්තෙමු.
“ධීවර රස්සාවත් එක්ක තව රස්සා හත අටක්ම බැඳිලා තියෙනවා.මේ හැම දෙනාම රැකෙන්නේ කර්මාන්තය තිබුනොත් තමයි.කාලයක් ඉන්දියානු ධීවරයන්ගෙන් කරදර වුණා.ඒකනම් දැන් නැහැ.දැන් ප්‍රශ්නේ තහනම් ක්‍රම වලට මාළු අල්ලන එක.දැනට අවුරුදු දහයකට විතර කලින් කොළඹින් පවා මෙහෙටම එනවා මාළු අරන් යන්න.ඒ තරම් හොඳට තිබුණේ.අනික තමයි එන්න එන්න දුපත මුහුදට යනවා.තව අවුරුදු දහයක් දොළහක් යද්දී සෑහෙන ප්‍රමාණයක් මුහුදට යයි.මේක දන්න නිසා අපි විල්පත්තු මායිමට වෙන්න පලුගහතුරෙයි ගම්මානයේ තැනක් පෙන්නුවා ජැටියකුත් හදන්න පුළුවන්.ඒ ආසන්නයේත් ධීවර ගම්මානයක් තියෙනවා.පවුල් දහයක් වගේ ඉන්නේ. තාම ඉතින් අපිට උත්තරයක් නැහැ.”
බත්තලංගුණ්ඩුව දූපතේ සියලු කටයුතු කෙරෙන්නේ වික්ෂෝපමාතා ධීවර සමිතිය මගිනි.වෙනත් කිසිඳු පරිපාලනමය මැදිහත්වීමක් නොවෙයි.එහෙත් ඔවුන් අතර ගැටුමක් නැත.ධීවරයන් පවසන පරිදි හැමදෙනාටම එකම නීතියකි.තහනම් ක්‍රම වලට රැකියාව කිරීම දූපතේ ධීවරයන්ට සපුරා තහනම්ය.ධීවරයෙක් තහනම් දැලකට හසුව තිබූ මත්ස්‍යයන් රැගෙන පැමිණියහොත් ඉන් ලැබෙන මුදල් සියල්ල සමිතිය මගින් කෙරෙන පොදු කටයුතු වලට දිය යුතුය.ඔවුන්ගේ වචනයෙන් කියනවනම් දූපතේ එහා කෙළවරේ සිට මෙහා කෙළවරටම නීතිය පොදුය.අදටත් මේ දූපතේ කර්මාන්තය රැකී ඇත්තේ මේ එකඟතා අනුව බවයි ඔවුන් සඳහන් කළේ.
“අපි රස්සාවට වගේම මුහුදටත් ආදරෙයි.මුහුද රැක ගත්තොත් තමයි අපිට යහතින් රස්සාව කරන්න පුළුවන්.මේ ටික මේ රටේ බලධාරීන්ට තේරෙන්නේ නැහැ. මේ කර්මාන්තය රැකගන්න අපි පුදුම විදිහට මහන්සි වෙන්නේ.රට වටේම මේ කර්මාන්තය තියෙනවා.ඒත් අපිට නම් ආණ්ඩුවලින් උදව්වක් නැහැ.”
නිලට නිලේ දිස්වන මහා මුහුද තරම් දැන් ඔවුන්ගේ ජීවිත වර්ණවත් නැත.හිතෙත් ගතෙත් ධෛර්යයෙන් ඔවුහු සිය දරු පවුල් සමඟ ජීවිතය සොයා යති.තවදුරටත් ගිනියම් වැල්ලේ දාහයෙන් ඔවුහු දැවෙමින් හිදින්නේ උරුමය මෙන්ම කර්මාන්තයද රැ ක ගැනීම වෙනුවෙනි.
කතෘ අයිතිය – ලංකා නිවුස් වෙබ්.නෙට්