mediahumanrights.lk
Entertainment Entertainment News News

වැලිකතරේ ටාසන් කුමාර් කුඩා වුණත් කාටත් මතකයි ජී. ආර්. පෙරේරා

අඩසිය වසකටත් වැඩි කාලයක් සිය රංගන ජීවිතය කලාව වෙනුවෙන් කැප කළ අතලොස්සක් රංගන ශිල්පීන් අතුරින් ජී. ආර්. පෙරේරාට හිමි වනුයේ සුවිශේෂී ස්ථානයකි. වේදිකාව, සිනමාව, පුංචි තිරය එකසේ තම රංගන පෞර්ෂයෙන් ඔපවත් කළ ජී. ආර්. පෙරේරා කලා ක්ෂේත්‍රයේ කා අතරත් වඩාත් ජනප්‍රියව ඇත්තේ ජී. ආර්. නමිනි. බොහොමයක් ප්‍රේක්ෂකයන් ද ජී. ආර්. නමින් ඔහුව දැන හඳුනාගෙන ඇති අතර ඔහුගේ මුවේ රැඳි සුදු පැහැති උඩු රැවුල පහසුවෙන් ඔහුව කිසිවකුට හඳුනා ගතහැකි කදිම සාක්ෂියක් ද වන්නේය.
වැඩි වශයෙන් පුංචි තිරයෙන් නිරන්තරයෙන් ප්‍රේක්ෂකයන් අතරට පැමිණි ජී. ආර්. පසුගිය කාලයේ ඒ තරම් දකින්නට නොලැබුණු හෙයින් අපි හිතුවා ඔහු ගැන ටිකක් හොයලා බලන්න.
නිරන්තරයෙන් ප්‍රේක්ෂකයන් සමඟ සිටි ඔබ හදිසියේම ඔවුන් අතරින් දුරස් වෙලා කියලා ප්‍රේක්ෂකයෝ අතර කසුකුසුවක් තියෙනවා නොවේද?
එහෙම නැති වෙන්න බෑ මම ඒ අයත් එක්ක හිටිය හැටියට. මම දැන් අසනීප තත්ත්වයෙන් ඉන්නේ. වෛද්‍යවරු මට කිව්වා නිදිමරන්න, මහන්සි වෙන්න එපා කියලා. මගේ මුත්‍රාසයේ පුරස්ථි ග්‍රන්ථියේ ඇති වෙලා තිබෙන ආබාධයක් නිසාවෙන් තමයි මට වෛද්‍යවරු මේ උපදෙස් දීලා තියෙන්නේ.
ඔබට ආදරය කළ ප්‍රේක්ෂකයන්ට කණගාටුදායක පුවතක් මේ තත්ත්වය?
මොනව කරන්නද මම මේ වෙන කොට මට ලැබුණු ටෙලි නාට්‍ය හයක් අතහැරලා දැම්මා.
එතකොට ආයේ රඟපාන්නේ නැද්ද?
රෝගී තත්ත්වයේ ගුණ දොස් අනුව වෛද්‍ය උපදෙස් අනුව තමයි ඉදිරියේදී රංගනයේ නියැළෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ. කොහොමත් මම දැන් හිතාගෙන ඉන්නේ වෛද්‍ය උපදෙස් ලැබුණත් කොළඹ අවට කෙරෙන නිර්මාණයකට දායක වෙනවා හැරෙන්න දුරබැහැර රූපගත කිරීම් සඳහා සහභාගි නොවන්න.
වරක් ඔබ වැඩිම ටෙලි නාට්‍ය ප්‍රමාණයක් රඟපෑ නළුවා ලෙසින් සම්මානනීය වුවා?
වැඩිම ප්‍රාසාංගික ඒකාංගික ටෙලි නාට්‍ය ප්‍රමාණයක් රඟපෑ නළුවා ලෙසින් මම එක වරක් රයිගම් සම්මානයෙන් පුද ලැබුවා. සංඛ්‍යාත්මකව ගත්තොත් ටෙලි නාට්‍ය 601 ක්.
චිත්‍රපට විශාල ප්‍රමාණයකටත් රංගන දායකත්වය එකතු කරන්න ඇති?
මේ වෙන කොට චිත්‍රපට 59 ක මම රඟපාලා තිබෙනවා. ඒ අතරින් චිත්‍රපට 10 ක් විදෙස් චිත්‍රපට.
ඔබේ මුල්ම රංගනය එක් වූ වැලිකතර චිත්‍රපටය යළිත් මේ දිනවල ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ප්‍රතිනිර්මාණය කොට තිරගත වෙමින් පවතිනවා නොවේද?
වැලිකතර චිත්‍රපටය මම දකින්නේ මෙරට සිනමාවේ එක්තරා හැරවුම් ලක්ෂයක් විදියටයි. මගේ සිනමා දිවියේ ප්‍රථම රංගනය එක් වූ චිත්‍රපටය තමයි වැලිකතර. මේ චිත්‍රපටයේ ගෝරින් මුදලාලිගේ ගෝලයෙක් වූ ටාසන් කියන පුද්ගලයාගේ චරිතය තමයි මම රඟපෑවේ. එදා චිත්‍රපටයේ මම කළ රංගනය කුඩා චරිතයක් වුණත් ඒ ටාසන් චරිතය චිත්‍රපටයේ කතාබහට ලක් වූ චරිතයක් වුණා. අද තිබෙන නවීන තාක්ෂණය ඔස්සේ ඩිජිටල්කරණයට ලක් වී යළිත් එය නරඹන්නට ලැබීම ගැන ඇත්තෙන්ම තියෙන්නේ ලොකු සතුටක්.
එදා ඔබ රඟපෑ වැලිකතර චිත්‍රපටයේ නවීකරණයත් සමඟ එහි මුල් නිරිමාණයේ කොටස් අඩුවීමක් තියෙනවාද?
කොහෙත්ම නැහැ. ඒක තමයි මේ චිත්‍රපටය මේ අයුරින් ප්‍රතිනිර්මාණය කිරීමට ගත් කණ්ඩායමේ දක්ෂතාවය. ෆෝඉන්වන් සංසදයේ මැදිහත්වීම මත මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ඩි. බී. නිහාල්සිංහ මහත්තයා රවීන්ද්‍ර ගුරුගේ සමඟ එක්වෙලා කරපු මේ වැඩේ හරිම වටිනා වැඩක්. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂ ඩී. බී. නිහාල්සිංහ, තිර කතාව ලිව්ව තිස්ස අබේසේකර මෙරට සිනමාවට කරලා තියෙන්නේ අනුපමේය සේවාවක්.
ඔබේ මංගල සිනමා රංගනය වූ වැලිකතර අංශ කීපයකින් ඔබට වැදගත් සන්ධිස්ථානයක්?
ලංකාවේ මුල්ම පුලුල් තිර චිත්‍රපටය තමයි වැලිකතර. මේ චිත්‍රපටය මේ වන විට චිත්‍රපට ශාලා 24 ක තිරගත වෙනවා. කවදාවත් ඩිජිටල්කරණය කළ වැලිකතර චිත්‍රපටය රූපවාහිනි නාලිකාවකින් දැකගන්න ලැබෙන්නෙත් නැහැ. නීතිය, පාතාලය, ආදරය අතර ගැටුම්කාරී ලෙස දෝලනය වන සිත් වදින කතා පුවතක් රැගත් මේ චිත්‍රපටය සිනමාවට පිවිසෙන්නට ඉන්න සිනමාව ගැන හදාරන තිර රචනා කලාව පිළිබඳ දැනුම සොයා යන්නෙකුට විශේෂයෙන්ම වැදගත් වන චිත්‍රපටයක් කියලයි මට හිතෙන්නේ. ඒ නිසා මම සමස්ත ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා මේ කෘතිය නරඹා සිනමාව කියන කලාව තුළ තියෙන ගැඹුර වටහා ගන්න කියලා.
ඔබේ මංගල සිනමා කෘතිය තුළින් අපේ සිනමාවවේ දැවැන්තයන් කීප දෙනෙක් හා ඔබ සහ සම්බන්ධ වෙනවා?
සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, සුවිනීතා වීරසිංහ වැනි ප්‍රවීණ නළු නිළියන් සමඟ චිත්‍රපට කලාවේ දැවැන්තයකු වූ ඩී. බී. නිහාල්සිංහ වගේම තිර රචනා කලාවේ චිත්‍රපට අධ්‍යක්ෂණයේ ප්‍රවීණයකු වූ තිස්ස අබේසේකරයන්ගේ නිර්මාණයක් හරහා මගේ මුල්ම සිනමා සම්ප්‍රාප්තිය සිදුවීම ඇත්තෙන්ම අද මට හිතෙනවා ඒක දෛයිවෝපගත සිද්ධියක් කියලත්.
වැලිකතරට ඔබ දායක වන්නේ කාගේ ආරාධනයකටද?
තිස්ස අබේසේකර හා මා අතර තිබුණේ ලොකු මිත්‍රකමක්. තිස්ස රත්තනපිටියේ එගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි වෙලා හිටියේ. මට අවුරුදු දහයේ ඉඳලා මමත් තිස්සත් ගජ යාළුවෝ. තිස්ස තිර රචනා කළ වැලිකතර චිත්‍රපටයේ ටාසන් චරිතයට මාව යෝජනා කළේ තිස්ස. නිහාල්සිංහයන්ට මාව හඳුන්වලා දුන්නේ තිස්ස. මම හිතන්නේ ඔය චිත්‍රපටයේ මම රඟපාන කොට මට වයස අවුරුදු 29 යි.
ඩී. බී. නිහාල්සිංහයන් ඩිජිටල්කරණය තුළ තම සිනමා කෘතිය ප්‍රතිස්ඨාපණය කිරීමට ගත් උත්සාහය පිළිබඳ ඔබ තුළ දුකක් වගේම කනගාටුවක් තිබෙන බව පවසා සිටියේ ඇයි?
එතුමා මේ ගත්ත උත්සාහය ඇහින් දැකලා සතුටු වෙන්න එතුමාට වාසනාව තිබුණේ නෑ. ඊට කලින් එතුමා අපි අතරින් වියෝ වුණා. ඒකයි මට තියෙන කණගාටුව. නමුත් එතුමා මෙවැනි වටිනා දෙයක් කරන්න ගත්ත උත්සාහය ගැන මට තියෙන්නේ ලොකු සතුටක්. රජයක් විසින් කළ යුතු දෙයක් තමයි මෙතුමා මේ කරලා තියෙන්නේ. පොදුවේ ගත්තම රංගනය ගැන හදාරන අයකුට, චිත්‍රපට ගැන හදාරන අයකුට කෞතුක වස්තු විදියට සංරක්ෂණය විය යුතු කෘති තමයි මේවා. ඒත් ඒ දේවල් මෙතුවක් කාලෙකට වුණේ නැහැ. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාගේ එකම ඉල්ලීම චිත්‍රපට සංරක්ෂණාගාරයක් හදන්න කියන එක. ඒත් ඒ ඉල්ලීම කිසිම රජයක් ඉෂ්ට කරන්න උත්සාහ කළේ නැහැ. අද වෙන කොට චිත්‍රපට ශාලා 171 ක් වැහිලා. වටිනා චිත්‍රපට රාශියක් අද වෙන කොට විනාශ වෙලා. මෙහෙම ගියොත් අපිට සිනමාවක් තිබුණ තැනක්වත් හොයා ගන්න ලැබෙන්නේ නැහැ. ඩී. බී. නිහාල්සිංහයන් වැලිකතර තුළින් අරඹපු අඩිතාලම නිසාවෙන් දැන්වත් පාලකයන්ගේ ඇස් ඇරිලාවත් චිත්‍රපට සංරක්ෂණ වැඩ පිළිවෙළක් ගැන නොපමාව කටයුතු කළොත් ලෙස්ටර් මහත්තයාගේ ජීවන හුස්ම මේ වාතලයෙන් සමුගන්නට පෙරවත් එතුමන්ගේ සිහිනය සැබෑකරලා දුන්නොත් ඒක ලොකු පිනක්.
ඔබත් වේදිකාවෙන් බිහි වූ නළුවෙක්?
මගේ රංගනයේ තිඹිරි ගෙය වේදිකාව. වේදිකා නාට්‍ය අටක විතර මම රඟපෑවා. ධර්මසිරි වික්‍රමරත්නගේ රන්තෝඩු වේදිකා නිර්මාණයෙන් තමයි මම ප්‍රසිද්ධ වේදිකාවට අවතීර්ණ වුණේ. නළුවෙකුට රංගනයේ තක්සලාව වේදිකාව කියලයි මම විශ්වාස කරන්නේ. වේදිකාවෙන් ආපු කෙනෙකුට කවදාවත් වරදින්නේ නැහැ. රංගනය කියන දේ සජීවීව ඉගෙන ගන්න තියෙන හොඳම තැන වේදිකාව. එතනින් ජීවිතය අරඹන ඕනෑම කෙනෙක්ට අනිත් මාධ්‍යවල වැඩ කරන එක අමාරු නැහැ.
රංගන ජීවිතය දෙස ආපසු හැරිලා බලන කොට රංගනයෙන් නියැළි තෘප්තිමත් චරිත ගැන ඔබේ මතකය කොහොමද?
කරුමක්කාරයෝ, වැලිකතර, කළු දිය දහර චිත්‍රපට. දූ දරුවෝ, චක්‍රායුධ, දොළොස් මහේ ගංගාව ටෙලි නාට්‍යවල මම කළ චරිතවලට මම විශේෂ කැමැත්තක් දක්වනවා.
දූ දරුවෝ ටෙලි නාට්‍යයේ මලකඩ බාස්ගේ චරිතය හරහා පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වූ ඔබ භික්ෂුවගේ චරිතය තුළිනුත් සදා නොවෙනස් රංගනයක නියැලියා?
මගේ රංගන ජීවිතයේ පනස් හය වසරක් පුරා මා රඟපෑ චරිත අතුරින් එකොළොස් වතාවත් මම භික්ෂුවක් ලෙස රඟපෑමේ භාග්‍යය ලැබුවා. මුලින්ම මම භික්ෂුවක් ලෙස රඟපෑවේ දොලොස්මහේ ගංගාව ටෙලි නාට්‍යයේ කිතලගම සීලාලංකාර නා හිමියන්ගේ චරිතය. මුලින්ම මම බුද්ධ චීවරය ඇන්දේ දිඹුලාගල පන්සලේදී. නායක හිමියන් කැමති වුණේ නැහැ බුද්ධ චීවරය නිකම්ම මගේ ඇඟට දානවට. උන්වහන්සේ හිමි නමක් පැවිදි කරන ආකාරයෙන් සියලු චාරිත්‍ර ඉටු කරමින් තමයි මාව ඒ රංගනය සඳහා මහණ කළේ. සියලු පස් පවුවලින් වැලකිලා දවස් තිස් එකක් මම දිඹුලාගල පන්සලේ කුටියක නැවතිලා තමයි නිර්මාණය වෙනුවෙන් දායක වුණේ. මට මතකයි එදා මහණ කරපු මුල් දිනයේම නායක හිමියන් සමඟ පන්සලේදී මට දානෙටත් වඩින්න සිද්ධ වුණා. බුද්ධ චීවරය ඇඟලාගෙන සියලු වත් පිළිවෙත් රකිමින් සිටින එකත් ලේසි කාර්යක් නොවන බව මට පසක් වුණේ මම බුද්ධ චීවරය ඇඟලා ගත් පසුවයි.
වැලිකතරේ රඟපාන්න ගිහින් කනේ මයිලුත් ගලවගන්න සිද්ධ වුණා කියන කතාව ඇත්තක්ද?
ඔව්. ගොරින් මුදලාලිගේ ගෝලයකුට තමයි රඟපෑවේ. චිත්‍රපටයේ හැටියට තිබුණ පොලීසියට ගත්තේ නාවින්නේ එකල තිබුණු කලා පෙලේ නාට්‍ය කාර්යාලය. කොහොම හරි මාව පොලීසියට ගෙනත් මට ගහමින් ප්‍රශ්න කරන්න තිබුණේ ගාමිණී ෆොන්සේකා මහත්තයාට. ඒ අවස්්ථාවේදී ගාමිණී මහත්තයා චරිතය තුළ ජීවත් වුණේ සජීවි ලෙසින්. කොහොමත් මගේ ඇඟේ අත පයේ විතරක් නෙමේ කනෙත් මයිල් තියෙන්නේ සාමාන්‍ය කෙනෙක් වගේ නෙවෙයි. ගාමිණී මහත්තයා මට පහර දෙමින් ඇදල ගත්තෙ නැතෑ මගේ කනේ මයිල්වලින්. මම මරලතෝනි දීලා කෑගැහුවා. ගාමිණී මහත්තයාගේ අතට කනේ මයිල් ටික ආවා. මගේ කනෙන් ලේ ගලන්න පටන් ගත්තා. ෂූටින් නතර වුණා. ගාමිණී මහත්තයාටත් හරි අප්සට්. කොහොම හරි මම ප්ලාස්ටර් දාලා ලේ එන එක නතර කර ගත්තා. ඊට පස්සේ මම යෝජනා කළා නිහාල්සිංහ මහත්තයාට ඒ කන පැත්ත අහු නොවෙන්න අනික් පැත්තෙන් සීන් එක ගමු කියලා. පස්සේ කොහොම හරි ගාමිණී මහත්තයත් කැමති කරගෙන තමයි ඒ සීන් එක ආයෙත් ගත්තේ. එදා සීන් එක අරන් ඉවර වුණාම ගාමිණී මහත්තයා මට කිව්වා උඹට හොඳ අනාගතයක් තියෙනවා කියලත්.
වැලිකතර චිත්‍රපටයේ ඔබේ නම යන්නේ රත්නපාල ගල්හේන කියලනේ. එතකොට කොහොමද පසු කාලෙක ඔබ ජී. ආර්. පෙරේරා වුණේ?
මගේ මුල් නම ගල්හේන ගේ රත්නපාල පෙරේරා. දවසක් සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මට යෝජනා කළා උඹට හොඳ අනාගතයක් රංගනයේදී තියෙන නිසා ඔය රත්නපාල ගල්හේන නම ඒකට උචිත නෑ. හොඳ නැද්ද ජී. ආර්. පෙරේරා කියලා භාවිත කළොත් කියලා. මටත් හිතුණා එතුමාගේ අදහස හොඳයි කියලා. මගේ නමේ අකුරු දෙකක් අරන් මමත් ජී. ආර්. වෙනවට කැමති වුණා. එදා මට ගාමිණී මහත්තයා විහිලුවකුත් කළා, හැබැයි පුතෝ ජී. ආර්. වුණාට කමක් නැහැ එම්. ජී. ආර් වෙන්න නම් දඟලන්න එපා කියලා.
(සරසවිය පුවත්පත ඇසුරෙනි)

Related posts

‘ගිනි කිකිලිගේ රජ ගැහිල්ල..’ සමග රෝසි රහස් පොලිසියේ…

Shiran Viraj

දෙහිවල සත්වෝද්‍යානය පිළියන්දල ප්‍රදේශයට රැගෙන යාමට ඇමතිවරයාගේ අවධානය

Shiran Viraj

මම අලුත් දේශපාලන ව්‍යාපාරයක් අරඹනවා

Shiran Viraj