අලුත් අවුරුද්දත් ගෙවුණා. ඒත් තවමත් අවුරුදු උණුසුම නම් පහවූයේ නෑ. මේ දවස් ගෙවී යන්නේ නෑදෑ හිතවතුන් බැහැ දැක බුලත් හුරුලු දී ආශිර්වාද ලබා ගන්නා කාලය. ඒ සඳහා පවුල් පිටින් නෑගම් යන එක සිංහල නව අවුරුදු චාරිත්‍රයක්. ඔය විදිහට ගමනක් යන දන්න කියන පවුලක් අපිට මුණ ගැසුණා. ඔවුන් බොහොම සතුටින්, සොම්නසින් දරුවන් සමග අවුරුදු සිරිය විඳින්න යන ගමන්. මේ වෙන කවුරුත් නොවෙයි අපි කවුරුත් දන්න කියන ආදරය කරන දක්ෂ, රංගන ශිල්පිනී හෂිනිකා කරල්ලියද්ද. හෂිනිකාත්, සැමියා සහ දියණියන් දෙදෙනාත්, හෂිනිකාගේ සොහොයුරියත් ප්‍රීතියෙන් අවුරුදු සමරන්න යන ගමන්. අපි ඔවුන්ගේ ගමනට මඳක් බාධා කරමින් කතා බහට එක් කරගත්තා. අහම්බෙන් හමු වුණත් ඇය අප සමග කතාබහ කළේ බොහොම සතුටින්.
ජාතික රූපවාහිනියෙන් විකාශය කෙරෙන ‘අමුතු රසිකයා’ ටෙලි නාට්‍යයෙන් සහ ස්වාධීන රූපවාහිනියෙන් විකාශය කෙරෙන ‘නිරාෂා’ ටෙලි නාට්‍යයෙන් අප හමුවට එන හෂිනිකා කොතරම් කාර්යබහුල රංගන ශිල්පිනයක වුවත් මවගේ වගකීම් හොඳින්ම ඉටු කරන රංගන ශිල්පිනියක්.
‘අපිට මොන දේ තිබුණත් වැඩක් නෑ පවුල කියන දෙය හරියට නැතිව. මම රංගන ක්ෂේත්‍රයට පා තැබූ දිනයේ සිටම එය හොඳින් තේරුම්ගෙනයි වැඩ කළේ. ඒ නිසයි අද වන විට හොඳ ස්වාමිපුරුෂයකු ලබලා දියණියන් දෙදෙනකුගේ මවක් වෙන්න වාසනාව ලැබී තිබෙන්නෙ’
හෂිනිකා වේදිකාවෙන් පුංචි තිරයට අවතීර්ණ වූ රංගන ශිල්පිනියක්. ‘මම වේදිකාවෙන් පුංචි තිරයට පැමිණි රංගන ශිල්පිනියක් කියා හඳුන්වනවාට කැමැතියි. දැනටත් ඉඩ ලැබෙන අවස්ථාවට වේදිකාවට සම්බන්ධ වෙන්න කැමැතියි. දරු දෙදෙනාගේ වැඩත් නිසා කාර්යබහුලයි. වෙලාවක් නැති තරම්. ඒ නිසා වේදිකාව ටිකක් මගඇරුණා. ටෙලි නාට්‍යනම් තෝරා බේරාගෙන රඟ පානවා.’
ඉතින් හෂිනිකා කොහොමද අලුත් අවුරුද්ද?, ඔයාලට නම් ජයයි වගේ? අද කට්ටියම කොහේ යන ගමන්ද? අපි ඉතින් අවුරුදු සමරලා අද මේ කෑමකට එළියට යන ගමන්. දරුවන්ටත් පාසල් නිවාඩුව අවසන් වෙන්න ළඟ නිසා අපි හිතුවා ගෙදර කට්ටිය වෙනසකටත් එක්ක කෑමකට එළියට ගියොත් හොඳයි කියල’
කොහොමද හෂිනිකා රංගනයයි, දරුවන්ගේ වැඩයි හොඳින් කරගෙන යන්නේ. මගේ පැනයට ඇය සිය සොහොයුරිය දෙස ළෙන්ගතුකමෙන් බලා මදෙස බලයි. ‘අක්කට තමයි ඒකෙ ස්තූතිය හිමිවන්න ඕනෑ. ඇය නැත්නම් මට රඟපාන්න ලැබෙන්නෙ නෑ. අක්ක මගේ දරුවො දෙන්න බලාගත්තෙ නැත්නම් කොහොමද මම ෂූටින් යන්නෙ. සැමියාත් නිතරම ගෙදර ඉන්න කෙනෙක් නෙමෙයි. ඔහු මටත් වඩා කාර්යබහුලයි. ඉතින් අප දෙදෙනාටම අපේ රැකියාව හොඳින් කරගෙන යන්න අවස්ථාව ලැබී තිබෙන්නෙ අක්ක නිසයි. මේ වන විට ටෙලි නාට්‍ය හැත්තෑ පහක විතර රඟ පා තිබෙනවා. චිත්‍රපට නම් වැඩිය නෑ; හයක් වගේ තමයි. වේදිකා නාට්‍යය ගණනාවක රගපෑවා.මෙවැනි නිර්මාණවලට සම්බන්ධ වෙන්න පුළුවන් වුණේ අක්ක මා සමග ඉන්න නිසයි. අප වෙනුවෙන් කරන මේ කැප කිරීමට අපි ණය ගැතියි’ ඇය කියාගෙන යයි. අක්කා නිහතමානීව සිනාසෙයි.
‘ඔබේ සැමියා හමුදා නිලධාරියෙක්, කලා කාරිණියකට එවැනි වෘතිතියක යෙදෙන කෙනෙක් තෝරාගන්නා විට බයක් හිතුණේ නැද්ද?
‘මගේ මහත්තයා කුමාර දිසානායක. ඔහු යුද හමුදා නිලධාරියෙක්. මාව හොඳින්ම තේරුම් ගත් සැමියෙක්. අප දෙදෙනා අප දෙදෙනාගේම වෘත්තිය හොඳින් තේරුම්ගෙන වැඩ කරන්නේ’
අපි කතා බහ කරමින් සිටින අතරතුර දියණියන් දෙදෙනා ඔන්චිල්ලාවක් සොයාගෙන පදියි. එක් වරම හෂිනිකා ‘බලන්නකො කොහේ ගියත් දෙන්න දන්නව තැනේ හැටියට විනෝද වෙන්න. අපිවත් දැක්කෙ නෑනෙ මෙතන ඔන්චිල්ලාවක් තියෙනව. ඔය වගේ තමයි ගෙදර හිටියත් දෙන්නගෙ වැඩ. තාත්තාත් ඉතින් දුවල දෙන්න කියන ඕනම දෙයක් කරයි’ ඇය බොරුවට නෝක්කාඩු කීවත් දරුවන්ට ඔන්චිලි පදින්නට උදව්දෙයි.
‘ලොකු දුව තෙනුරී අමා දිසානායක. හය වසරේ ඉගෙන ගන්නවා. පොඩි දුව තිනෙති ලක්ෂා දිසානායක, තුන්වැනි වසරේ. මේ දෙන්නම ඉගෙන ගන්නෙ නුගේගොඩ සෙන් ජෝසප් බාලිකාවේ. කොහේ ෂූටින් ගිහින් රෑ කීයට ගෙදර ආවත් එයාලගෙ හෝම් වර්ක් බලන්න නම් අමතක කරන්නෙ නෑ. ගෙදර ඉන්නදාටත් ගෙදර සියලුම වැඩ කරන්නෙ මගේ අතින්’
‘හෂිනිකා ඒ වචන ටික අවසන් කරන්නේ සැමියා දස ආඩම්බර බැල්මක් හෙළමින්ය.’ ඇත්තටම හෂිනිකා කියන්නෙ හොඳ බිරියක්, වගේම හොඳ අම්ම කෙනෙක්. ඇයත් මමත් ගොඩක් කාර්ය බහුල නිසා ගෙදර දොරේ සියලු වැඩ සොයා බලනවා. මාව ඒ වගකීම්වලින් නිදහස් කරල තියෙන්නේ. මේ දවස්වල අපේ නිවෙසේ ඉදිකිරීම් සිදුකරනවා. ඒවත් සොයා බලා කරන්නෙ හෂි තමයි.
‘මම දරුවන්ට කෑ ගහන එකට තමයි මහත්තයා අකමැතිම. දෙන්නගෙ වැඩේ දබර කරගන්න එකමයි. කොච්චර කීවත් අහන්නෙ නෑ. ඒ වෙලාවට මම නිලියක් නේද කියලත් අමතකයි. වටපිටාවටත් ඇහෙනව ඇති මගේ කෑගැහිල්ල’
‘කෑම කන්න ගියාමත් තෝරනවද? අක්කි තමයි තාම බබා වෙන්න හදන්නෙ. නංගි එහෙම නෑ. ඕන දෙයක් කනවා, බොනවා. එයාගෙ වැඩත් තනියම කරගන්නවා. කිසිම කරදරයක් නෑ. අක්කිට තවමත් බත් ටිකත් කවන්න ඕන. මස්, මාළු කන්න කැමැති නැහැ. අනිත් එක්කෙනා මහත්තයා. එයා ඉන්නදාට විශේෂ දෙවල් හදල කන්න කීවත් කන්නෙ නැතුව නිදිය ගන්නවා. කෑම තෝරන්නෙ නෑ. රසට තියෙනව නම් කනවා.’
‘හෂිනිකා කියන්නෙ වැඩිය විලාසිතාවලට තැන දෙන රංගන ශිල්පිනයක් නෙමෙයිද?
‘කොහෙත්ම නැහැ. එදත් මම විලාසිතා කළේ කිසියම් සීමාවකට. අදත් එහමෙයි. මේ අවුරුද්දටනම් අපි අලුත් ඇඳුම් ගත්තෙ නෑ. මොකද අපේ අලුතෙන් ඉදිවන නිවෙසේ වැඩ නිසා මුදල් අතින් තරමක් අමාරු නිසා. මගේ විලාසිතා ගැන කතා කරනවනම් හැමදාමත් අදින්නෙ මගේ ඇඟට සරිලන ඇඳුම්. ඒකට තැනට උචිත ලෙස අදිනවා. පිළිවෙළට, පිරිසුදුවට මොකක් ඇන්ඳත් ලස්සනයි කියලයි මට හිතෙන්නෙ. කළු, සුදු වර්ණ වගේම සීනිබෝල පාට වර්ණය නැතිව ඕනෑම පාටක අදුමකට කැමැතියි.’
‘සැබවින්ම මෙය සුන්දර කැදැල්ලකි. නිවෙසට පිටතදී මොවුන් හමුවුණත් හරිම ළෙන්ගතුය. දියණියන් දෙදෙනාගේ සුරතල් කතා, කෙළි කවටකම්වලින් මේ කැදැල්ල සිරියාවෙන් පිරී ඉතිරී ගොසිනි. වරෙක ඔවුහු ගී ගයති, තාලයට නටති. අම්මාත්, තාත්තාත් ඒවාට අත්වැල් බඳිති. කොතරම් සුන්දරද? මේ දියණියන්ගේ අනාගතය ගැන මොන තරම් බලාපොරොත්තු ඇත්ද?
‘අම්ම කෙනෙක් විදිහට දරුවන් දෙදෙනා ගැන තිබෙන ලොකුම බලාපොරොත්තුව දරු දෙදෙනා හොඳ පුරවැසියන් කරන එක. ලොකුදුව නම් දැන්ම ඉඳන් කියන්නෙ ලොකු වුනහම අම්ම වගේ වෙනව කියල. එයාගෙ පෙනුමත් ටිකක් මම පුංචිකාලෙ වගේ තමයි. දැනටත් ඇය හඬ කැවීම් ශිල්පිනියක් ලෙස වැඩකරනවා. ඇය කලාකාරිණියක වනවාට මගේ අකමැත්තක් නැහැ. නංගිබබා නම් අනාගතය ගැන මුකුත්ම කියන්නෙ නෑ. දෙන්නට හොඳින් උගන්වනවා. ඒ දෙන්න තීරණය කරයි මොනවද ඉස්සරහට කරන්නේ කියල’
මවකගෙ බලාපොරොත්තුව එය නොවේද? ඒ බලාපොරොත්තුව එසේම ඉටුවේවා යන සිතුවිල්ලෙන් නව වසරට සුබ පතන ගමන්ම තවත් දිනයකදී නැවත හමු වන බලාපොරොත්තුවෙන් සමුගත්තා.
( උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි )