mediahumanrights.lk
LIFE LIFE NEWS News

මිනිස් සිරුර ගැන ඔබ නොදත් පුදුමාකාර තොරතුරු

මිනිස් ශරීරය කියන්නෙ පුදුමාකාර නිමැවුමක්. ඇත්තටම මේ පුදුමාකාර නිමැවුම තුල සිදුවෙන දේ ඇතැම්විට අදහා ගන්නවත් බැහැ. මේ තරම් සියුම් ලෙස මෙය නිමැවුණේ කෙසේ ද යන්න ඇත්තටම විශ්මයජනකයි. මිනිස් සිරුර පිළිබඳ අන්න ඒ වගේ ඔබ නොදන්නවා යැයි අප අනුමාන කරන තොරතුරු රැසක් ඔබ වෙත ඉදිරිපත් කිරීමටයි අද අපි උත්සාහ කරන්නෙ.
මොළයේ ක්‍රියාකාරිත්වය සඳහා වැය කරන ශක්ති ප්‍රමාණය වොට් 25ක බල්බයක් දැල්වීමට තරම් ප්‍රමාණවත් වේ. වයස අවුරුදු 18 වන විට අපගේ මොළය සම්පූර්ණයෙන් ම වැඩී අවසාන වේ.  මොළය වෙත නිසි පරිදි රුධිර සැපයුම නැවතුහොත් තත්පර 8-10 කින් පසුව අසඥතාවයට (සිහි නැති වීම) පත් වන අතර ඔක්සිජන් නොමැතිව මොළය සජීවීව පවතින්නේ විනාඩි 4-6 පමණ කාලයකි. ඉන් පසුව මොළයේ සෛල විනාශ වීමට පටන් ගනී.
මිනිසුන් ත්‍රිමාණීය ව ගන්ධයන් ආඝ්‍රාණය කරයි. එනම්, නාසය මගින් යමක සුවඳ පිලිබඳ සංඥා එක් එක් නාස් පුඩු හරහා වෙන වෙන ම මොළයේ අංශ දෙකකට යවන අතර එමගින් සුවඳ පැමිණෙන දිශාව නිර්ණය කරගැනීමට හැකි වේ. මිනිසාගේ නාසය සුනඛයෙකුගේ තරම් සංවේදී නොවුනත් විවිධ ගන්ධයන් 50,000ක් පමණ මතක තබා ගැනීමේ හැකියාව මොළයට ඇත. ඒ ඒ ගන්ධයන් වෙන වෙන ම හදුනා ගැනීම සඳහා නාස් මාර්ගය ඉහළ කොටසේ පටලය තුළ ආඝ්‍රාණ ප්‍රතිග්‍රාහක මිලියන පහක් පමණ එකට ගොනු වී ඇත.
ඇඟිලි සලකුණු මෙන් සෑම පුද්ගලයෙකුට ම අනන්‍ය දිවෙහි සටහනක් ඇති බව ඔබ දන්නවා ද? රසාංකුර 9000ක් පමණ දිව මතුපිට පෘෂ්ඨයේත් උගුරේ හා උඩුතල්ලේත් ඇති අතර මුඛයේදී ඛේටය සමග ද්‍රවණය වන අහාර වල ඇති රසායනික ද්‍රව්‍ය හා අනිකුත් සාරයන් හට සංවේදී රසග්‍රාහක මෙම රසාංකුර තුළ ඇත.
ඔබ ලිවීමට භාවිතා කරනා අතෙහි ඇති දිගු ඇඟිලිවල නිය ඉකමනින් වර්ධනය වේ. සාමාන්‍යයෙන් මිනිසෙකුගේ නිය මසක දී මිලිමීටර් 3 ක් (0.12 in) පමණ වර්ධනය වන අතර නියපොත්තක් සම්පූර්ණයෙන් මුල සිට අග දක්වා වර්ධනය වීමට මාස 6 පමණ කල් ගත වේ.
මිනිසකුගේ හිසකේ වර්ණය මගින් කොපමණ කෙස් ප්‍රමාණයක් ඒ ඒ පුද්ගලයාගේ හිසෙහි ඇත් දැයි නිර්ණය කල හැක. සාමාන්‍ය පුද්ගලයකුගේ හිසෙහි රෝම කූප 100,000ක් පමණ ඇති අතර පුද්ගලයකුගේ ජීවිත කාලය තුල දී එම එක් එක් රෝම කූප වෙන වෙන ම කෙස් ගස් 20 බැගින් නිපදවීමට සමත් වේ. තඹවන් කෙස් හිමි පුද්ගලයන් හට වැඩිම කෙස් ප්‍රමාණයක් ඇති අතර ඔවුන්ගේ හිසෙහි රෝම කූප 146,000ක් පමණ ද කළු පැහැති කෙස් හිමියන්ට රෝම කූප 110,000ක් පමණද දුඹුරු පැහැති කෙස් හිමියන්ට රෝම කූප 100,000ක් පමණක් ද  රතු පැහැති කෙස් හිමියන්ට හට අඩුම කෙස් ප්‍රමාණයක් ඇති අතර සාමාන්‍යයෙන් රෝම කූප 84,000ක් පමණ ඇත.
මිනිසකු කිවිසීමීදී පිටවන වාතය පැයට සැතපුම් 100 ක තරම් වේගයෙන් පිටවන අතර කිවිසුමක් පිටකිරීමට ආසන්න වත්ම හිස නැමීමත් කිවිසුමක් පිටකිරීමේදී නාසය හා මුඛය වසා ගැනීමත් සිදු වන්නේ මේ නිසාවෙනි. කිවිසුමක් පිටකරණ මොහොතේදී හෘදයත් ඇතුළුව සියලුම කායික ක්‍රියාවන් නවතියි.
මිනිස් සිරුරේ ඇති දිගම සහ බරම අස්ථිය කලව අස්ථිය වන අතර එය කොන්ක්‍රීට් දණ්ඩකට වඩා ශක්තිමත්ය. දරුවන් කුඩා කාලයේදී තම හිස ඔසවා ගෙන සිටීමට දරන ප්‍රයත්නය පුදුමයක් නොවෙයි. මන්ද යත් මිනිසකු උපදින විට හිස, සම්පූර්ණ ශරීරයේ දිග ප්‍රමාණයන් ¼ක් පමණ වන අතර වැඩිහිටි බවට පත් වීමදී එය ⅛ක් පමණක් වේ. ඔබගේ ශරීරයේ ඇති කුඩාම අස්ථිය වනුයේ මැද කණේ ඇති ‘ධරණකය’ අස්ථිය වන අතර එය අඟල් 0.10 – 0.13 පමණ දිග වේ. ළදරුවෙකු හට අස්ථි 350 ක් ඇති අතර වැඩීමත් සමග අස්ථීන් එකිනෙක හාවීම නිසා අවසානයේ එය 206 ක් දක්වා අඩු වේ.
සාමාන්‍ය පුද්ගලයෙක් තම ජීවිත කාලය තුලදී ඛේටය ලීටර් 25,000 ක් පමණ නිපදවන අතර එය පිහිනුම් තටාකයක් පිරවීමට තරම් ප්‍රමාණවත් වේ. වැඩිහිටි පුද්ගලයෙකුගේ කුඩා බඩවැල් එම පුද්ගලයාගේ උස මෙන් 4 ගුණයක් තරම් දිග වන අතර එය අඩි 18 -23 ක් පමණ වේ. දේහ පෝෂණයට අවශ්‍ය කොටස් 90% ක් පමණ රුධිර දහරට අවශෝෂණය කරගන්නේ කුඩා බඩවැල් තුළදී ය.
සිරුර තුළ රුධිරය දීර්ඝ මාර්ගයක් ඔස්සේ වාහනය වීමට සිදු වේ. ඒ සඳහා සැතපුම් 60,000 ක් පමණ දිග රුධිර වාහිණි පද්ධතියක් මිනිස් සිරුරේ ඇති අතර දිනකට හෘදය විසින් රුධිරය ගැලුම් 2,000 ක් පමණ මෙම රුධිර වාහිනී ඔස්සේ පොම්ප කරයි. මිනිස් සමහි සෑම වර්ග අඟලකම අඩි 20 ක් පමණ දිග රුධිර වාහිනී අඩංගු වේ. මිනිස් සමහි සෑම වර්ග අඟලක ම ක්ෂුද්‍රජීවීන් මිලියන 32ක් පමණ සිටින අතර ඉන් වැඩි සංඛ්‍යාවක් උපද්‍රව රහිත වේ.
650 කට අධික මාංස පේශී ප්‍රමාණයක් මිනිස් සිරුරේ ඇති අතර ඔබ සිනා සෙන විට මාංස පේශී 17 කුත් රවන විට පේශී 47 කුත් ක්‍රියා කරයි. ප්‍රමාණයට සාපේක්ෂ ව බැලීමේදී මිනිස් සිරුරේ ඇති ශක්තිමත්ම පේශිය දිව ලෙස සැලකේ. මිනිසෙක් කතා කරන විට මාංස පේශී 72ක් පමණ අන්‍යෝන්‍යව ක්‍රියා කරයි. අනෙකුත් මාංස පේශී මෙන් නොව හෘදයේ ඇති පේශී ස්නායු පද්ධතියේ උත්තේජ වලින් තොරව සං‍කෝචනය වන අතර හෘදය ස්පන්දනය සදහා සංඥා ලබාදෙන්නේ දකුණු උඩු හෘද කර්ණිකාවේ ඇති හෘත් කර්ණික – කෝෂික ගැටය මගිනි. ඉතින් මේ තොරතුරු පුදුමාකාරයි නේ ද?
courtesy : lowawata.net

Related posts

සරසවි සිසුන් සිය ග්‍රහණයට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ පුවරු හා දැන්වීම්වලට ගිනි තබයි – PHOTOS

Shiran Viraj

කම්කරු දිනය අද

Shiran Viraj

අලිගැටපේර, ඔලිව්තෙල්වල අඩංගු ශාක තෙල් ආයු කාලය දීර්ඝ කරන බව හෙළිවේ

Shiran Viraj