බාහුවේ බුදුරුව සහිත පච්චයක් කොටා තිබීම හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීම නිසා සිය මානව හිමිකම් උල්ලංඝනය වූ බව පිළි ගනිමින් ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව පිළිබඳව සතුටක් දැනෙන නමුත් යළිත් වරක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ බලාපොරොත්තුවක් නොමැති බව බ්‍රිතාන්‍ය ජාතික නයෝමි කෝල්මන් පවසනවා.
නයෝමි කෝල්මන් එම ප්‍රකාශය කළේ 2014 වසරේ දී ඇය අත්අඩංගුවට ගෙන, රැඳවුම් භාරයේ දී හිරිහැර කොට, ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීම සම්බන්ධයෙන් වන්දි ගෙවන මෙන් ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය ආණ්ඩුවට සහ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව දුන් තීන්දුව පිළිබඳව බීබීසී සමග අදහස් දක්වමිනුයි.
“ඇත්තටම මට හරිම සතුටුයි. දිග කාලයක් මම බලාගෙන හිටිය. නීතිඥවරු ගොඩක් වෙහෙස වුනත් ඒකෙන් ප්‍රතිඵලයක් ලැබේවි කියල මට බලාපොරොත්තුවක් තිබුණේ නෑ.මේ පණිවුඩ ලැබුනහම මට ඒක නිකම් කම්පනයක් වගේ වුනා. ඇත්තටම මට සතුටුයි.”
නෙළුම් මලක වැඩ සිටින බුදු රුවක් අතේ පච්ච කොටා ගෙන සිටින ඇය බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගත් කටුනායක පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේ, එම පච්චය මහජනතාව කුපිත කිරීමට හේතුවක් විය හැකි බැවින් ඇය අත් අඩංගුවට ගත් බවයි.
තමන් කිසිදු අවස්ථාවක බුදු දහමට හෝ ශ්‍රී ලංකාවේ සංස්කෘතියට අවමානයක් නොකළ බව අවධාරණය කරන නයෝමි කෝල්මන්, තමන් තවමත් ඉතා ශ්රද්ධාවන්ත බෞද්ධයෙකු බවත් සඳහන් කර තිබෙනවා.
“ඒත් මම හිතන්නේ නැහැ මම ආයෙත් ලංකාවට යාවි කියල. මට ලංකාව ගැන නරක හැඟීමක් නෑ. ඒ සේරම පටන්ගත්තේ එක පුද්ගලයෙක්. ඒ වගේම සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙක් දේ කියල තිබුණ. හැම තැනම හොඳ මිනිස්සු වගේම නරක මිනිස්සුත් ඉන්නවනේ. නමුත් මම අයත් ගියොත් මට කරදර කරන්න බලාගෙන ඉන්න පිරිසකුත් ඉන්න බව මම දන්නවා.”
ඇය රටින් පිටුවහල් කිරීමේ නියෝගය නීති විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ ද සඳහන් වනවා.
“මම ඊට කලින් දෙවතාවක්ම ලංකාවට ගිහින් තියෙනව. ඒ නිසා මම ඒ රටේ නීතිය ගැන දන්නවා.බුදු හාමුදුරුවන්ගේ පච්චයක් තියෙනවා නම් ඒක තියෙන්නේ ඕන ඉණට ඉහළින් කියල මම දන්නවා. මගේ පච්චය තිබුණේ අතේ බාහුවක. මම නිතරම තායිලන්තයට වගේම නේපාලයට යනවා. ඒ කිසිම රටක කිසිම කෙනෙකුට මගේ පච්චය ගැන ප්‍රශ්නයක් තිබුණේ නෑ. පච්චය මගේ කකුලේ තිබිල මාව පිටුවහල් කළා නම් ඒකට මම ඒ තීන්දුවට එකඟ වෙනවා.”යනුවෙන් ද ඇය බීබීසී සමග සඳහන් කර තිබෙනවා.
(under the courtesy of nethnews.lk news web)