28.7 C
Colombo
2026-10-28
mediahumanrights.lk
BusinessBusiness NewsNews

2026 වසරේ මුල් මාස නවය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 13.6 දක්වා ඉහළට

2026 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මුල් මාස නවය තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 13.612 දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) පවසයි.

රජයේ තොරතුරු දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා මෙම තොරතුරු අනාවරණය කළේය.

ඒ අනුව, අදාළ කාලපරිච්ඡේදය තුළ භාණ්ඩ අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 10.761ක් සහ සේවා අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.850ක් වශයෙන් උපයා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.

එමෙන්ම 2026 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව ඉතිහාසයේ ඉහළම මාසික අපනයන ආදායම වාර්තා කරමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.691ක අගයක් සටහන් කිරීමට සමත් වූ බව සභාපතිවරයා ප්‍රකාශ කළේය. මෙය 2025 වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 17.2%ක සැලකිය යුතු වර්ධනයකි.

සැප්තැම්බර් මාසයේදී භාණ්ඩ අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.385ක් (පසුගිය වසරේ අදාළ මාසයට සාපේක්ෂව 21.6%ක ඉහළ යාමක්) ලැබී ඇති අතර, සේවා අපනයනය මඟින් ඇමෙරිකානු ඩොලර් මිලියන 306ක ආදායමක් උපයා ඇත.

කෙසේ වෙතත්, මැදපෙරදිග පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට තවදුරටත් අභියෝගවලට මුහුණ දීමට සිදුව ඇති බව විජේසිංහ මහතා පෙන්වා දුන්නේය. ප්‍රවාහන හා රක්ෂණ පිරිවැය ඉහළ යාම සහ කලාපීය රටවල අපනයන කටයුතුවලට එල්ල වී ඇති බාධා හේතුවෙන් අපනයනකරුවන් මත අමතර පීඩනයක් එල්ල වී ඇති බව හෙතෙම පැවසීය.

එම අභියෝග හමුවේ වුවද ශ්‍රී ලාංකික අපනයනකරුවන් දක්වන නොපසුබස්නා උත්සාහය සහ රටේ අපනයන ක්ෂේත්‍රයේ වර්ධනයට ඔවුන් ලබාදෙන දායකත්වය සභාපතිවරයාගේ ඇගයීමට ලක්විය.

සැප්තැම්බර් මාසයේ වාර්තා වූ මෙම ඉහළ ප්‍රගතිය යහපත් ප්‍රවණතාවක් ලෙස හඳුන්වා දුන් විජේසිංහ මහතා, ඉදිරි මාස 3-4 කාලය තුළ ද මෙම වර්ධනය පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව සඳහන් කළේය. ඒ අනුව 2026 වසර අවසාන වන විට සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 18 ඉක්මවූ ඓතිහාසික ඉලක්කය වෙත ළඟාවීමට කටයුතු කරමින් සිටින බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Related posts

රට කැළඹූ මාලිමාවේ කියූ සාමාජිකයාට රහස් පොලිසියට පැමිණිලි.. අපරාධ චෝදනා..

Shiran Viraj

දික්වැල්ල වරද පිළිගනී – ඊයේ තරගයේ රෙගුලාසිවලට පටහැනි තැනක් හසුවේ

Shiran Viraj

ශ‍්‍රී ලංකාව බංකොලොත් වෙමින්ද..- විදෙස් මාධ්‍ය අසයි…# එවන් අවදානමක් තිබෙනවා..- සජිත් කියයි..

Shiran Viraj
Translate »