විදෙස්ගත සංවිධානාත්මක අපරාධ කල්ලියක් විසින් පැහැරගන්නා ලද ශ්රී ලාංකිකයෙකු මුදාහැරීම සඳහා යුරෝ 15,000ක (රුපියල් ලක්ෂ 48කට අධික) කප්පම් මුදලක් ඉල්ලා සිටීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණය වෙත පසුවදා (21) දැනුම් දුන්නේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම් ජාවාරම් විමර්ශන අංශයේ නිලධාරීන් විසින් කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අසංග බෝදරගම මහතා හමුවේ කරුණු වාර්තා කරමින් මෙම තොරතුරු ඉදිරිපත් කරන ලදී.
අදාළ ශ්රී ලාංකිකයා ඉතාලියට යවන බව පවසා මුලින්ම අසර්බයිජානය වෙත රැගෙන ගොස් ඇති බවත්, පසුව ඔහුව ලිබියාවේ හෝ වෙනත් රටක ක්රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලියක් විසින් පැහැර ගැනීමට ලක්ව ඇති බවත් CID නිලධාරීහු අධිකරණයට දන්වා සිටියහ.
පැහැර ගැනීමට ලක්වූ පුද්ගලයා එම අපරාධ කල්ලිය අතින් විවිධ වදහිංසාවලට ලක්වන අතර, ඔහුව මුදාහැරීම වෙනුවෙන් මෙම යුරෝ 15,000ක කප්පම් මුදල ඉල්ලා සිටින බවට ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබේ. සිද්ධියට අදාළ විමර්ශනවල ප්රගතිය ඉදිරියේදී අධිකරණයට වාර්තා කරන ලෙස ප්රධාන මහෙස්ත්රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

