2026-07-01
mediahumanrights.lk
NewsPolitical

එදා හිල් වුණු යටඇඳුම් ගැන කියූ ඇමැතිවරු අද කෝටිපතියන් වෙලා: රාජිතගෙන් දැඩි විවේචනයක්

මීට වසර එකහමාරකට ඉහතදී තමන්ගේ දිළිඳුකම පෙන්වමින් ජනතාවගේ අනුකම්පාව ලබාගැනීමට කටයුතු කළ ඇතැම් ඇමැතිවරුන්, වත්මන් වන විට රුපියල් කෝටි ගණනින් වත්කම් උපයා ඇති බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ, එදා තමන් සතු යටඇඳුම්වල පවා සිදුරු තිබෙන බව ප්‍රකාශ කළ පුද්ගලයන් අද වන විට සුඛෝපභෝගී මන්දිර මෙන්ම නීති විරෝධී මූල්‍ය උපයීම් පවා සිදුකර ඇති බවයි.

වත්මන් රජයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ වත්කම් පිළිබඳව කරුණු හෙළිදරව් කරමින් සේනාරත්න මහතා ප්‍රකාශ කළේ, එක් ඇමැතිවරයෙකු මේ වන විට තෙමහල් සුඛෝපභෝගී මන්දිරයක් ඇතුළු නිවාස දෙකක් ඉදිකරමින් පවතින බවයි. එමෙන්ම තවත් ඇමැතිවරයෙකු සිය දියණියගේ නමට ඉඩම් දෙකක් මිලදී ගෙන ඇති බවත්, ඔහුගේ වත්කම් ප්‍රකාශ තුළ ‘ක්‍රිප්ටෝ කරන්සි’ (Cryptocurrency) පවතින බව සඳහන් වන බවත් ඔහු අනාවරණය කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව පවා රට තුළ ක්‍රිප්ටෝ භාවිතය සඳහා අවසර දී නොමැති පසුබිමක, කැබිනට් අමාත්‍යවරයෙකුට එවැනි වත්කම් ලැබුණේ කෙසේද යන්න පිළිබඳව ද ඔහු මෙහිදී ප්‍රශ්න කර සිටියේය.

ආණ්ඩුව තමන්ගේ අසමත්කම් වසාගැනීම වෙනුවෙන් විපක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීන් ඉලක්ක කරගනිමින් මර්දනකාරී වැඩපිළිවෙළක් දියත් කර ඇති බවට ද හිටපු අමාත්‍යවරයා චෝදනා කළේය. පුද්ගලයන් අත්අඩංගුවට ගනිමින් විපක්ෂය බියවැද්දීමට දරන උත්සාහයන් කිසිසේත් සාර්ථක නොවන බව ඔහු පෙන්වා දුන්නේය. විරුද්ධ පක්ෂයට පහරදීමෙන් පවතින අර්බුද යටපත් කළ නොහැකි බවත්, අද වන විට ගොවි ජනතාව පාරට බැස සිටින අතර ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටුකිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බවත් ඔහු පැවසීය.

අතීතයේදී ජේ.ආර්. ජයවර්ධන සහ සිරිමාවෝ බණ්ඩාරනායක වැනි රාජ්‍ය නායකයන්ගේ පාලන සමයන්හිදී ද මෙවැනි මර්දනයන් ක්‍රියාත්මක වූ බව සිහිපත් කළ රාජිත සේනාරත්න මහතා, එවැනි ක්‍රියාවලින් මහජන මතය වෙනස් කළ නොහැකි බව අවධාරණය කළේය. එබැවින් රජය සිය දූෂිත ක්‍රියා වසන් කිරීමට උත්සාහ කරනු වෙනුවට, ජනතාව මුහුණ දෙන සැබෑ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදිය යුතු බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

ශ‍්‍රී ලන්කන් ඩොලර් ගෙවා ඉන්ධන ගනී…

Shiran Viraj

ලංකාවේ අත්‍යවශ්‍ය බඩු මොනවත් නෑ…

Shiran Viraj

චීන මුහුදු කූඩලු ගොවිපලවලට ධීවර විරෝධය…

Shiran Viraj
Translate »