ගෝලීය යුද ආතතීන් හමුවේ ශ්‍රී ලංකාව හදිසි සැලසුම් ශක්තිමත් කළ යුතු බව නාමල් රාජපක්ෂ පවසයි
ඇමරිකා එක්සත් ජනපදය, ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින ගෝලීය යුද ආතතීන් හමුවේ ශ්‍රී ලංකාව වැනි කුඩා ජාතීන්ට එහි බලපෑම දැඩිව දැනෙන බවත්, රජය වහාම හදිසි සැලසුම් ශක්තිමත් කළ යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි. සිය “X” ගිණුමෙහි සටහනක් තබමින් ඔහු අවධාරණය කළේ දශක ගණනාවක යුද්ධය අත්විඳි ජාතියක් ලෙස ප්‍රචණ්ඩත්වයේ භයානකකම ශ්‍රී ලංකාව හොඳින්ම දන්නා බවයි.
මහා බලවතුන් අතර සිදුවන ගැටුම් හේතුවෙන් වෙළඳාම, බලශක්තිය සහ සැපයුම් ජාලයන්ට සිදුවන බාධා මෙරට ජනතාවගේ ජීවනෝපායන්ට සහ අත්‍යවශ්‍ය සේවාවන්ට සෘජුවම බලපාන බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. එබැවින් රජය මෙම අවදානම් කල්තියා හඳුනාගෙන, ඉන් පීඩාවට පත්විය හැකි ජනතාවට සහාය වීමට සූදානම් විය යුතු බව ඔහුගේ අදහසයි. විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ ප්‍රමුඛතම වගකීමක් විය යුතු බව ද ඔහු සඳහන් කළේය.

