ඉන්ධන පෝලිම් පවතින අවස්ථාවෙන් ප්රයෝජන ගෙන බූලි සහ විවිධ භාජනවලට ඉන්ධන ලබාගෙන ඒවා වැඩි මිලට විකිණීමේ ජාවාරම්වල නිරත වන්නන්ට එරෙහිව දැඩි නීතිමය ක්රියාමාර්ග ගන්නා ලෙස සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස්. ද එස්. රාජකරුණා මහතා පවසයි. මෙවැනි ජාවාරම්කරුවන් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට සහ ඔවුන් නීතියේ රැහැනට හසුකර දීම සඳහා යුද හමුදා බුද්ධි අංශ ද යොදවා ඇති බව ඒ මහතා අවධාරණය කළේය.
ත්රී රෝද රථ සහ අනෙකුත් වාහන තුළ රහසිගතව බූලි සඟවාගෙන පැමිණ ඉන්ධන ලබාගන්නා පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙස ප්රාදේශීය පරීක්ෂකවරුන්ට උපදෙස් දී ඇත. එවැනි ජාවාරම් සඳහා අනුබල දෙන හෝ ඉඩ ප්රස්ථාව සලසා දෙන ඉන්ධන හල් හිමියන්ගේ බලපත්ර වහාම ක්රියාත්මක වන පරිදි අහෝසි කිරීමට කටයුතු කරන බවද සභාපතිවරයා පැවසීය. අනීතික ක්රියාවලට සම්බන්ධ වී සිරගත වීමට කටයුතු නොකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින ඔහු, කිසියම් ස්ථානයක මෙවැනි ජාවාරම් සිදුවන්නේ නම් ඒ පිළිබඳ වහාම ක්රියාත්මක වී අදාළ පුද්ගලයන් පොලිසියට භාර දීමට කටයුතු කරන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
මේ අතර පවතින ඉන්ධන පෝලිම් අවම කිරීම සඳහා අද සහ හෙට දිනවල අඛණ්ඩව ඉන්ධන නිකුත් කිරීමට පියවර ගෙන ඇත. මේ සඳහා නිවාඩු ලබා සිටි සියලුම සේවකයන් සේවයට කැඳවා ඇති අතර, සපුගස්කන්ද පර්යන්තයෙන් මේ වන විටත් ඉන්ධන බවුසර් නිකුත් කිරීම ආරම්භ කර තිබේ. පෝලිම් අවසන් වන තෙක් මෙම ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අඛණ්ඩව සිදුකරන බවද රාජකරුණා මහතා වැඩිදුරටත් සහතික කළේය.

