ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු මෙරටට ගෙන්වීම හේතුවෙන් ඉදිරියේදී නැවත වරක් විදුලි බිල ඉහළ යාමේ දැඩි අවදානමක් පවතින බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ, පවතින ආර්ථික හා දේශපාලන අර්බුද හමුවේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය වහාම ඒකාබද්ධ විය යුතු බවයි.
ගල්අඟුරු ටෙන්ඩර් ක්‍රියාවලිය සම්බන්ධයෙන් කරුණු දැක්වූ කරුණානායක මහතා සඳහන් කළේ, මෙරටට පැමිණ ඇති ගල්අඟුරු නැව් 9 හිම වාර්තා අවුල් සහගත බවයි. එම ගල්අඟුරු බාල වර්ගයේ ඒවා බැවින් අවශ්‍ය තාපය ජනනය නොවන බවත්, මේ හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය මේ වන විටත් රුපියල් බිලියන 8 ක පාඩුවක් ලබා ඇති බවත් ඔහු අනාවරණය කළේය.
දැනට ඉල්ලා ඇති 13% ක විදුලි බිල වැඩිවීමට අමතරව, මෙම ගල්අඟුරු ගෙන්වීමෙන් සිදු වූ පාඩුව පියවා ගැනීමට නුදුරේදීම නැවතත් බිල වැඩි කිරීමට සිදුවනු ඇතැයි හිටපු අමාත්‍යවරයා අනතුරු ඇඟවීය. ටෙන්ඩර් කැඳවීමේ දෝෂයක් නොමැති බව ඇතැමුන් පැවසුවද, මෙහි පැහැදිලි වංචාවක් සිදුව ඇති බව ඔහුගේ අදහසයි.

