2026-02-09
mediahumanrights.lk
Local NewsNews

මුතුරාජවෙල සුරැකීමට විශේෂ බලතල සහිත අධිකාරියක් පිහිටුවන්නැයි කාදිනල් හිමිපාණන්ගෙන් ඉල්ලීමක්

මුතුරාජවෙල තෙත්බිම් කලාපය තුළ සිදුවන අනවසර ඉදිකිරීම් සහ පරිසර පද්ධතිය විනාශ වීම වැළැක්වීම සඳහා “මුතුරාජවෙල සංවර්ධන අධිකාරිය” නමින් විශේෂ බලතල සහිත ආයතනයක් පිහිටුවන ලෙස අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ රජයෙන් ඉල්ලා සිටිති. අද පෙරවරුවේ අගරදගුරු මැදුරේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී උන්වහන්සේ මේ බව අවධාරණය කළහ. ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති මහින්ද ජයසිංහ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මුතුරාජවෙල යනු සමස්ත පරිසර පද්ධතියේම “පෙනහැල්ල” බඳු ස්වභාවික උරුමයක් බව පෙන්වා දුන් කාදිනල් හිමිපාණන්, ස්වභාවධර්මයට හානි කිරීමේ ප්‍රතිඵල ඉතා භයානක විය හැකි බවට අනතුරු ඇඟවූහ. මෑතකදී ගම්පහ නගරය දෙවතාවක්ම ජලයෙන් යටවීමට ප්‍රධානතම හේතුව මෙම තෙත්බිම් කලාපය අවිධිමත් ලෙස ගොඩකිරීම බව උන්වහන්සේ පෙන්වා දුන්හ. පසුගිය දශක කිහිපය පුරා විවිධ කර්මාන්තශාලා සහ ව්‍යාපෘති සඳහා ඉඩම් ගොඩකිරීම නිසා මෙම තත්ත්වය උග්‍ර වී ඇති බවත්, ඇතැම් රජයේ ආයතන හොර රහසේ විවිධ පාර්ශ්වයන්ට මේ සඳහා අවසර ලබාදෙන බවත් උන්වහන්සේ මෙහිදී චෝදනා කළහ.

මුතුරාජවෙල කලාපයේ ජල ප්‍රවාහන හා සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් පූර්ණ බලතල සහිත අධිකාරියක් පිහිටුවීම හරහා ශක්තිමත් නීතිමය පදනමක් සකස් කළ යුතු බව උන්වහන්සේ යෝජනා කළහ. මෙහිදී අදහස් දැක්වූ මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේ මුතුරාජවෙල පිළිබඳ විශේෂඥ අනුකමිටු වාර්තාව මේ වන විට ලැබී ඇති බවයි. එම වාර්තාව පදනම් කරගනිමින් ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා ලබන 17 වනදා පරිසර අමාත්‍යාංශය සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ද මෙහිදී අනාවරණය විය.

Related posts

IMF සහාය එන තෙක් ආර්ථික අර්බුදයට විසදුම් නෑ..- මහ බැංකු අධිපති අගමැතිට දන්වයි…

Shiran Viraj

බරපතළ රිය අනතුරින් පසු දිමංක සහ සඳුන් ෆේස්බුක් ඇවිත් කිව්ව කතාව

Shiran Viraj

ද්විත්ව පුරවැසිබව නිසා මන්ත්‍රී ධුරය අහෝසියි

Shiran Viraj
Translate »