mediahumanrights.lk
Local NewsNews

ආර්ථික මධ්‍යස්ථාන සමාගම් පාලනයට පැවරීමේ තීරණයට වෙළෙඳ ප්‍රජාවගෙන් දැඩි විරෝධයක්

දිවයිනේ ප්‍රධාන පෙළේ ආර්ථික මධ්‍යස්ථාන පහක් නව සමාගම් පාලනයකට නතු කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් සහ විෂය භාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අතර දඹුල්ලේදී පැවැති සාකච්ඡාවකදී දැඩි මතභේදාත්මක තත්ත්වයක් හටගෙන තිබේ. දැනට කළමනාකාර භාරයක් යටතේ ක්‍රියාත්මක වන දඹුල්ල, නුවරඑළිය, තඹුත්තේගම, කැප්පෙටිපොළ සහ නාරාහෙන්පිට යන ආර්ථික මධ්‍යස්ථාන, අධ්‍යක්ෂවරුන් හත්දෙනකුගෙන් සමන්විත නව සමාගමක පාලනයට පැවරීමට රජය තීරණය කර ඇති අතර ලබන මාසයේ සිට එම මධ්‍යස්ථානවල බදු මුදල් සහ පරිපාලන කටයුතු මෙම සමාගම යටතට පත්වන බව අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය. පාරිභෝගිකයාට සාධාරණ වෙළෙඳපොළක් නිර්මාණය කිරීම මෙහි අරමුණ බවත්, ඒ හරහා ගොවීන්ගේ හෝ ව්‍යාපාරිකයන්ගේ අයිතීන්ට හානියක් නොවන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.

කෙසේ වෙතත්, වසර 30කට අධික කාලයක් ස්වාධීනව පවත්වාගෙන ආ මෙම ව්‍යාපාරික ස්ථාන, පූර්ව දැනුම්දීමකින් තොරව නව පාලනාධිකාරියකට පැවරීමට උත්සාහ කිරීම පිළිබඳව ව්‍යාපාරිකයෝ අමාත්‍යවරයාට සිය විරෝධය පළ කළහ. රජයෙන් මුදල් ලබා නොගෙන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සංවර්ධනය කර දැනටමත් රුපියල් කෝටි 25ක ඉතිරියක් කළමනාකාර භාරය සතු කරගෙන තිබියදී මෙලෙස මැදිහත් වීම අසාධාරණ බව ඔවුහු පෙන්වා දුන්හ. මින් පෙර කැබිනට් අනුමැතිය ලබාගත් සමාගම් නාමය වෙනස් කර නව සමාගමක් පිහිටුවීම හරහා අමාත්‍යවරයා සූක්ෂම ලෙස කටයුතු කරන බවටත්, ඒ සඳහා නිසි කැබිනට් අනුමැතියක් නොමැති බවටත් ව්‍යාපාරිකයන් චෝදනා කළහ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැතිවරණ සමයේදී පොරොන්දු වූ වසර 30ක බදු සහනය පිළිබඳව සිහිපත් කළ අවස්ථාවේ අමාත්‍යවරයා නිහඬතාවක් අනුගමනය කිරීම ද විශේෂත්වයකි.

සමාගම් නාමය වෙනස් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, අදාළ නාම වෙනස සඳහා ඉදිරියේදී කැබිනට් අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන බවයි. දෙපාර්ශ්වය අතර ඇති වූ උණුසුම් වචන හුවමාරුව සහ එල්ල වූ දැඩි විරෝධය හමුවේ, නව සමාගම සහ වෙළෙඳ ප්‍රජාව අතර ඇති කරගත යුතු එකඟතා පිළිබඳව සාකච්ඡා කිරීමට ඉදිරියේදී වෙනත් දිනයක් ලබා දෙන බව ප්‍රකාශ කරමින් අමාත්‍යවරයා සාකච්ඡාව අවසන් කළේය. මෙම තීරණයට එරෙහිව ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බවට ද ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරික සංගම් අනතුරු අඟවා ඇත.

Related posts

මිලියන 193ක් වටිනා සිගරැට් තොගයක් ඔරුගොඩවත්ත රේගු අංගනයේ

Shiran Viraj

විමල්-ගම්මන්පිලට පොහොට්ටුවෙන් පල නොකියා පලා බෙදති..මාධ්‍ය කැදවා බලු බැණුම් බනිති

Shiran Viraj

ලංකා ඊ නිවුස් කර්තෘ පදිංචි තැන සොයයි

Shiran Viraj
Translate »