mediahumanrights.lk
Local NewsNewsPolitical

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් සඳහා රජය කැපවී සිටින බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසයි

අපේ රට ආර්ථික, සමාජීය හා සංස්කෘතික වශයෙන් සුරක්ෂිත වීමට නම් ගුණාත්මක මානව සම්පතක් නිර්මාණය විය යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රධානතම සාධකය අධ්‍යාපනය බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍රකාශ කළාය. රජය අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් සිදු කිරීම සඳහා විශාල කැපවීමකින් සහ උත්සාහයකින් කටයුතු කරමින් සිටින බවත්, එම ගමනේදී කුමන බාධා එල්ල වුවද නිසි ඉලක්කයක් සහ අරමුණක් ඇති බැවින් ඒ සියල්ල ජය ගනිමින් ඉදිරියටම යන බවත් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය. අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ 2023/2024 අධ්‍යයන වර්ෂය සඳහා රජයේ විශ්වවිද්‍යාලවලට තේරී පත්වූ අධ්‍යාපන සමුපකාර සමිතියේ සාමාජිකයින්ගේ දූ පුතුන් වෙනුවෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වූ “EDCS සිසු නැණ ප්‍රණාම” ශිෂ්‍යාධාර ප්‍රදානෝත්සවය අමතමිනි.

සීමාසහිත අධ්‍යාපන සේවා නියුක්තිකයින්ගේ සමුපකාර සකසුරුවම් සමිතිය (EDCS) මගින් සංවිධානය කරන මෙම වැඩසටහන හුදු ශිෂ්‍යාධාර පිරිනැමීමක් පමණක් නොව, රටේ අනාගතය භාර ගැනීමට සිටින සිසුන්ගේ සහ ඔවුන්ගේ දෙමාපියන්ගේ කැපවීම ඇගයීමට ලක් කරන උතුම් අවස්ථාවක් බව ඇය සඳහන් කළාය. 1930 වසරේදී සාමාජිකයන් 58 දෙනෙකුගෙන් ආරම්භ වූ මෙම සමිතිය, අද වන විට සාමාජිකයන් දෙලක්ෂ පහළොස් දහසක් පමණ සිටින දකුණු ආසියාවේ විශාලතම සමුපකාරයක් බවට පත්ව තිබීම සුවිශේෂී ජයග්‍රහණයක් බවද ඇය පැවසුවාය. පාසල් අධ්‍යාපනයේ සිටම අද ලෝකයට ගැළපෙන අයුරින් අධ්‍යාපන පද්ධතිය පරිවර්තනය කළ යුතු බවත්, විශ්වවිද්‍යාලවලට පිවිසෙන සිසුන් මෙම වෙනසේ නියමුවන් විය යුතු බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නාය.

මෙම අවස්ථාවට එක් වූ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා අදහස් දක්වමින් කියා සිටියේ, දූෂණයෙන් තොරව කටයුතු කිරීම හේතුවෙන් මීට පෙර රුපියල් මිලියන 1200ක්ව තිබූ සමිතියේ මූල්‍ය ස්ථාවරත්වය මාස නවයක් වැනි කෙටි කාලයක් තුළ රුපියල් මිලියන 1700 දක්වා වර්ධනය කිරීමට හැකි වූ බවයි. මෙවර වැඩසටහන යටතේ රජයේ විශ්වවිද්‍යාලවලට තේරී පත්වූ දරුවන් 2292ක් වෙනුවෙන් රුපියල් මිලියන 13.7කට අධික මුදලක් ශිෂ්‍යාධාර ලෙස පිරිනැමුණි. 1984 වසරේදී ආරම්භ වූ මෙම වැඩසටහන වසර 41ක් පුරා අඛණ්ඩව පවත්වාගෙන එමින්, වර්තමානය වන විට එක් සිසුවෙකුට රුපියල් 75,000ක උපරිමයක් දක්වා ශිෂ්‍යාධාර පිරිනැමීම ගුරු පරපුරේ සාමූහික ශක්තිය විදහා දක්වන්නකි.

Related posts

මෙරට කොරෝනා 18,000 පනී..

Shiran Viraj

සල්ලි නෑ.. වැඩිහිටි දිමනාව ගන්නා ආ පිරිස් හරවා යවයි..

Shiran Viraj

56%කින් විදුලිය ගාස්තු ඉහලට.. ?

Shiran Viraj
Translate »