31.1 C
Colombo
2026-08-31
mediahumanrights.lk
Local NewsNewsPolitical

ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන රජයේ නීති අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ පෙත්සම විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දෙයි

වෛද්‍යමය සැත්කම් මගින් පුද්ගලයෙකුට තමා කැමති පරිදි ස්ත්‍රී පුරුෂභාවය වෙනස් කර ගැනීමට අවසර ලබා දෙමින් රජය නිකුත් කර ඇති නීති රීති අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක මහතා විසින් ඉදිරිපත් කරන ලද මෙම පෙත්සම සලකා බැලූ ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල, මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ලෙස දන්වමින් හිටපු සහ වත්මන් රාජ්‍ය නායකයින් ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමට නියෝග කළේය.

පෙත්සම්කරු පෙන්වා දෙන්නේ උපතින් උරුම වන ජීව විද්‍යාත්මක සාධක බැහැර කර හුදු පුද්ගල අභිලාෂය මත පමණක් ලිංගිකත්වය වෙනස් කිරීමට මෙරට නීතියෙන් ඉඩක් නොමැති බවයි. 2016 වසරේ සෞඛ්‍ය අංශ නිකුත් කළ උපදෙස් මාලාවක් මත පදනම්ව, ලිංගිකත්වය වෙනස් කළ පුද්ගලයන්ට නව උප්පැන්න සහතික සහ හැඳුනුම්පත් නිකුත් කිරීම නීතිවිරෝධී බවට ඔහු චෝදනා කරයි. මෙවැනි පරිවර්තනයන්ට රජය අනුබල දීම හරහා මෙරට නීතියෙන් පිළි නොගන්නා සමලිංගික විවාහ සඳහා වක්‍රව මග පෑදෙන බවත්, ජනමත විචාරණයකින් තොරව මෙවැනි තීරණාත්මක සමාජීය වෙනස්කම් සිදු කිරීම නීත්‍යානුකූල නොවන බවත් පෙත්සමෙහි සඳහන් වේ.

පසුගිය සහ වත්මන් රජයන් විසින් ක්‍රියාත්මක කරන ලද මෙම වැඩපිළිවෙලවල් හරහා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ප්‍රකාශ කරන ලෙසත්, ලිංගික අනන්‍යතාව වෙනස් කිරීමට පහසුකම් සලසන සියලුම චක්‍රලේඛ සහ රාජ්‍ය ප්‍රතිපත්ති බලරහිත කරන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටී. මෙම පෙත්සම නැවත ලබන ජූලි මස 20 වන දා කැඳවීමට නියමිතය.

Related posts

බිම් මහල ගංවතුරෙන් පිරෙද්දි උඩු මහලේ එකම පවුලේ 4 ක් නොඑන ගමන් ගිය නෙළුවේ ඛේදවාචකය- Photos

Shiran Viraj

රනිල්ගේ හදිසි නීති මඟින් මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය – ශ්‍රේෂ්ඨාධිකරණයේ ව්‍යාකූල තීන්දුවක්

Shiran Viraj

මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාව ගැන කොළ එළියක්

Shiran Viraj
Translate »