2026-02-09
mediahumanrights.lk
NewsPolitical

ආර්ථිකයේ ප්‍රතිලාභ පොදු ජනතාව වෙත ගලා යන යුගයක් උදා කරන බව ජනාධිපතිවරයා පවසයි

පවුල් කිහිපයක් සහ ඔවුන් වටා සිටි චෞර වළල්ලක් ආර්ථික ජයග්‍රහණ භුක්ති විඳි යුගය අවසන් කර, එහි ප්‍රතිලාභ රටේ පතුළේම සිටින ජනතාව වෙත ගලා යාමට සැලැස්වීම රජයේ මූලික අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහ කර්මාන්තකරුවන්ට වන්දි ප්‍රදානය කිරීම වෙනුවෙන් මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ කුමන තනතුරක වැජඹුණද වැරදි කළ සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක කරන බවත්, මෙරට යුක්තිය සහ සාධාරණත්වය පිළිබඳ ජනතා විශ්වාසය දිනාගන්නා වසර බවට මෙම වසර පත්වන බවත්ය.

මෙම වන්දි ප්‍රදානෝත්සවයේදී කුණ්ඩසාලේ, මැදදුම්බර, පාතදුම්බර සහ පන්විල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ප්‍රතිලාභීන් 150 දෙනෙකු වෙනුවෙන් සංකේතාත්මකව චෙක්පත් ප්‍රදානය කෙරිණි. අයවැය චක්‍රලේඛ 08/2025 ට අනුව පූර්ණ නිවාස හානි වූවන් සඳහා නිවසක් ඉදිකිරීමට ලබා දෙන රුපියල් ලක්ෂ 50 ක මුදලින් ප්‍රථම වාරිකය ලෙස රුපියල් ලක්ෂ 20 බැගින් ප්‍රදානය කළ අතර, අර්ධ හානි වූවන් සඳහා රුපියල් ලක්ෂ 05 දක්වා වන්දි පිරිනැමිණි. මීට අමතරව, හානියට පත් ලියාපදිංචි ව්‍යාපාර නැවත ආරම්භ කිරීම සඳහා රුපියල් ලක්ෂ 02 බැගින් වන මූල්‍ය ප්‍රදානයන් ද සිදු කෙරිණි.

රටේ ආර්ථිකය බිඳ වැටීමට හේතුව නිසි සැලසුම් නොමැති වීම සහ අල්ලස, දූෂණය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, දේශපාලන හිතවත්කම් මත ආරම්භ කර අතරමග නතර කළ රජයේ ගොඩනැගිලි 1800 ක් පමණ ඇති බව අනාවරණය කළේය. ආර්ථිකය ස්ථාවර කිරීම මගින් පමණක් අධ්‍යාපනය, සෞඛ්‍ය සහ යටිතල පහසුකම් දියුණු කළ හැකි බව ඔහු පැවසීය. මේ සඳහා ඉන්දියාව සහ චීනය වැනි මිත්‍ර රටවල මෙන්ම පෞද්ගලික ව්‍යවසායකයන්ගේ ද සහාය ලැබෙන බව ඔහු සිහිපත් කළේය.

නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ශක්තිමත් කිරීම, අයථා ලෙස උපයාගත් දේපොළ පවරා ගැනීමට නීති සම්මත කිරීම සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම වැනි පියවර ගනිමින් සිටින බව ජනාධිපතිවරයා සඳහන් කළේය. “නීතිය ලොකු අයට මකුළු දැළක්” වූ යුගය අවසන් කර, උස් මිටි භේදයකින් තොරව නීතිය සැමට සමානව ක්‍රියාත්මක කරන බව ඔහු සහතික විය. මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

Related posts

ජනපති රනිල් Channel4 ගැන ඇසූ විදෙස් මාධ්‍යට දුවන්නම දෙයි..

Shiran Viraj

කරට කර සටනක්‌ දී ලංකාව අවසන් පන්දුවේදී ජය ගනී

Shiran Viraj

ඉන්ධන මිල අඩු කරයි.. නව මිල ගණන් මෙන්න…

Shiran Viraj
Translate »