රජය බලයට පත් වූ විගස විදුලි බිල තුනෙන් එකකින් අඩු කරන බවට කිසිදු ප්‍රකාශයක් සිදු නොකළ බව කම්කරු, මුදල් අමාත්‍ය සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා අවධාරණය කරයි. ස්වර්ණවාහිනී ‘රතු ඉර’ වැඩසටහනට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ විදුලි බිල තුනෙන් එකකින් අඩු කිරීමේ අරමුණ කරා යාමට වසර 3-4ක් වැනි දිගුකාලීන ගමනක් අවශ්‍ය බවයි. විදුලි බිල අඩු කිරීම යනු කඩයකින් භාණ්ඩ මිලදී ගන්නවාක් මෙන් පහසුවෙන් කළ හැක්කක් නොවන බවත්, ඒ සඳහා නිෂ්පාදන පිරිවැය සැලකිය යුතු ලෙස පහත හෙළිය යුතු බවත් ඔහු සඳහන් කළේය.
විදුලි බිල අඩු කිරීමට නම් පුනර්ජනනීය බලශක්ති ධාරිතාව අවම පිරිවැයකින් වැඩි කළ යුතු බවත්, රජයේ ඉලක්කය වන්නේ පුනර්ජනනීය බලශක්ති දායකත්වය සියයට හැත්තෑව දක්වා ඉහළ නැංවීම බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය. එක් පාර්ශ්වයක් සූර්ය බලශක්තිය සඳහා ඉහළ මිලක් ඉල්ලන අතරම අනෙක් පසින් විදුලි බිල අඩු කරන ලෙස ඉල්ලා සිටීම පරස්පර විරෝධී බවත්, මෙය ආර්ථික විද්‍යාව පිළිබඳ පවතින නොදැනුවත්කම පෙන්නුම් කරන්නක් බවත් ඔහු පෙන්වා දුන්නේය. විදුලි ජනන පිරිවැය අඩු කිරීම සඳහා විදුලි බල පනත මගින් සමාගම් හතරක් පිහිටුවීමට පියවර ගෙන ඇති බව ද ඔහු අනාවරණය කළේය.
ලංකාවට අවශ්‍ය ප්‍රමාණයට වඩා සුළං සහ සූර්ය විදුලිය නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතින බැවින්, එම අතිරික්ත විදුලිය අපනයනය කිරීමට හෝ වෙනත් විකල්ප භාවිත කිරීමට අවශ්‍ය බවත් ඒ සඳහා ඇමෝනියා සහ ග්‍රීන් හයිඩ්රජන් වැනි ව්‍යාපෘති සඳහා රජය අවධානය යොමු කර ඇති බවත් අනිල් ජයන්ත මහතා පැවසීය. විදුලි බිල ක්‍රමිකව අඩු කිරීම සඳහා රජය මේ වන විටත් විද්‍යාත්මකව වැඩ කරමින් සිටින බැවින් ජනතාව මඳක් ඉවසීමෙන් කටයුතු කළ යුතු බව ද ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

