25.9 C
Colombo
2026-01-19
mediahumanrights.lk
Local NewsNews

මධ්‍යම පළාතේ ආපදා සහන සහ අපද්‍රව්‍ය කළමනාකරණයට ජපානයෙන් ඩොලර් මිලියන 1.33ක ආධාර

සුළි කුණාටුවෙන් සහ ගංවතුරෙන් දැඩි බලපෑමට ලක්වූ මධ්‍යම පළාතේ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම සහ අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ජපන් රජයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 1.33ක ආධාර මුදලක් ලබා දීමට තීරණය කර ඇත. ගංවතුරත් සමඟ ගොඩගැසුණු සුන්බුන් සහ කළමනාකරණය නොකළ අපද්‍රව්‍ය හේතුවෙන් මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල මතු වී ඇති මහජන සෞඛ්‍ය හා පාරිසරික ගැටලු විසඳීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි. දැඩි මූල්‍ය දුෂ්කරතා මධ්‍යයේ සිටින පළාත් පාලන ආයතනවලට සහාය වෙමින්, අනාගත ආපදා තත්ත්වයන්ට ඔරොත්තු දෙන පරිදි සේවා ප්‍රතිස්ථාපනය කිරීම සඳහා මෙම ව්‍යාපෘති යෝජනාව සම්බන්ධ පළමු සාකච්ඡාව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී පවත්වන ලදී.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය හරහා සැපයෙන මෙම ආධාර මත ක්‍රියාත්මක වන ව්‍යාපෘතිය 2026 මැයි මාසයේ සිට 2027 ඔක්තෝබර් දක්වා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) මගින් මෙහෙයවනු ලබයි. මෙමඟින් මධ්‍යම පළාතේ පුද්ගලයන් 340,000කට පමණ සෘජු ප්‍රතිලාභ හිමිවීමට නියමිතය. විශේෂයෙන්ම ගංවතුරෙන් හානි වූ කුඩා මාර්ග සහිත ප්‍රදේශවල ඝණ අපද්‍රව්‍ය සහ විද්‍යුත් අපද්‍රව්‍ය එකතු කිරීම සඳහා විශේෂ විදුලි ත්‍රිරෝද රථ 45ක් ලබා දීමටත්, අපද්‍රව්‍ය ප්‍රවාහනය නිරීක්ෂණය කිරීමට ඩිජිටල් ලුහුබැඳීමේ මෙවලම් හඳුන්වා දීමටත් මෙහිදී සැලසුම් කර ඇත.

මීට අමතරව, සූර්ය පැනල පද්ධති සහිතව නැවත ගලවා වෙනත් තැනක ස්ථාපනය කළ හැකි විශාල ප්‍රමාණයේ ප්‍රජා මධ්‍යස්ථාන 15ක් පළාතේ ස්ථාපනය කිරීමට නියමිතය. කාන්තාවන් සහ අවදානමට ලක්විය හැකි කණ්ඩායම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ඔවුන්ගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා වන වැඩසටහන් ද මෙම ව්‍යාපෘතියට ඇතුළත් කර තිබේ. මෙමඟින් මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතනවල මෙහෙයුම් ධාරිතාව ඉහළ නංවන අතරම, ආපදා කළමනාකරණය සඳහා වන දේශීය තාක්ෂණික දැනුම වර්ධනය කිරීමට ද රජය අපේක්ෂා කරයි.

Related posts

වසරකට පසු ගෝටාභය කට අරී.. Channel4 චෝදනාවට ප‍්‍රතිචාරය මෙන්න..

Shiran Viraj

වසර පුරාම මේ තුන් බිය ගැන සැලකිල්ලෙන් සිටින්න

Shiran Viraj

අගමැතිට දුන් අමාත්‍ය ධූරයත් යළි ගන්නවාලු

Shiran Viraj
Translate »