2026-01-12
mediahumanrights.lk
International NewsNews

ඉරානයේ උග්‍ර ආර්ථික අර්බුදය හමුවේ මහජන විරෝධතා දැඩි වෙයි

පවතින දරුණු ආර්ථික අර්බුදයට එරෙහිව ඉරානය පුරා ව්‍යාප්ත වී ඇති මහජන විරෝධතා මර්දනය කිරීමේ අරමුණින් එරට අන්තර්ජාල සබඳතා සම්පූර්ණයෙන්ම විසන්ධි කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ. රජයට එරෙහිව දියත් වන මෙම උද්ඝෝෂණ පසුගිය අටවන දින රාත්‍රියේදී වඩාත් ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගත් අතර විරෝධතාකරුවන් විසින් ඉස්ෆාහන් නුවර පිහිටි රජයේ ගුවන් විදුලි හා රූපවාහිනී මධ්‍යස්ථානය ගිනිබත් කර ඇති බව වාර්තා වේ. මීට අමතරව ටෙහෙරාන් අගනුවර පිහිටි රජයට හිතවාදී ප්‍රචාරක පුවරු විනාශ කර ඇති අතර ඇතැම් ප්‍රදේශවල හිටපු හමුදා ප්‍රධානී කාසෙම් සුලෙයිමානිගේ පිළිම පවා පෙරළා දමා තිබේ.

ගත වූ දින 12 ක කාලය තුළ ඉරානයේ පළාත් 31 ම ආවරණය වන පරිදි ව්‍යාප්ත වූ මෙම විරෝධතා හමුවේ ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාරවලින් ළමුන් අට දෙනෙකු ඇතුළුව අවම වශයෙන් පුද්ගලයින් 45 දෙනෙකු මියගොස් ඇති බව ඉරාන මානව හිමිකම් සංවිධානය (IHR) පවසයි. එසේම 2,000 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර සිය ගණනක් තුවාල ලබා සිටිති. ඉරාන රියාලයේ අගය සීඝ්‍රයෙන් පහත වැටීම, ආහාර මිල 70% කින් සහ ඖෂධ මිල 50% කින් ඉහළ යාම ජනතාව මෙලෙස වීදි බැසීමට ප්‍රධානතම හේතුව වී තිබේ. රජය විසින් ආනයනකරුවන්ට ලබා දුන් සහනදායී විනිමය අනුපාත ඉවත් කිරීම නිසා සාමාන්‍ය ජන ජීවිතය දැරිය නොහැකි මට්ටමට පත්ව ඇතත්, රජය පවසන්නේ මෙම අර්බුදයට බටහිර සම්බාධක හේතු වී ඇති බවයි.

ජාත්‍යන්තර ප්‍රජාව මෙම තත්ත්වය දැඩි ලෙස හෙළා දකින අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇත්තේ විරෝධතාකරුවන් ඝාතනය කිරීමට එරෙහිව දැඩි ප්‍රතිචාර දක්වන බවයි. ජර්මනිය ද ඉරාන බලධාරීන් අධික බලය භාවිතා කිරීම පිළිබඳව සිය විරෝධය පළ කර තිබේ. ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ජනතාවගේ ඉල්ලීම්වලට සවන් දිය යුතු බව ප්‍රකාශ කර තිබුණද, පවතින තත්ත්වය 2022 වසරේ පැවති දැවැන්ත විරෝධතාවලින් පසුව එරට පාලනයට එල්ල වූ ප්‍රබලතම අභියෝගය ලෙස සැලකේ.

Related posts

උතුරේ හෝ දකුණේ ජාතිවාදයට ඉඩක් නෑ

Shiran Viraj

රනිල් සහ සාගල අද ජනපති කොමිසමට

Shiran Viraj

සුපිරි ටෙලිනාට්‍ය නළුවා ගංජා සමග අත්අඩංගුවට

Shiran Viraj
Translate »