2026-01-15
mediahumanrights.lk
Local NewsNews

අධ්‍යාපන මොඩියුලවල දෝෂ 150ක් පවතින බවත් රුපියල් කෝටි හයක මූල්‍ය අවභාවිතයක් සිදුව ඇති බවත් රෝහිණි විජේරත්න පවසයි

පාසල් දරුවන් වෙනුවෙන් මුද්‍රණය කරන ලද අධ්‍යාපන මොඩියුල 14 ක අක්ෂර වින්‍යාස සහ ව්‍යාකරණ දෝෂ 150 කට ආසන්න ප්‍රමාණයක් පවතින බව සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනි රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය පාර්ලිමේන්තුවේදී අනාවරණය කළාය. ඉංග්‍රීසි මාධ්‍ය මොඩියුල සඳහා පමණක් රුපියල් කෝටි හයක මහජන මුදලක් වැය කර ඇති පසුබිමක, මෙවැනි දෝෂ සහිත පොත් මුද්‍රණය කිරීම බරපතළ මූල්‍ය අවභාවිතයක් බව ඇය මෙහිදී අවධාරණය කළාය. අධ්‍යාපනඥයන් පවා මෙම දෝෂ සහගත තත්ත්වය පෙන්වා දී ඇති බවත්, ඇතැම් මොඩියුලවල දුර්වල නිමාව හේතුවෙන් භාවිතයට පෙරම පිටු ගැලවී යන තත්ත්වයක් පවතින බවත් මන්ත්‍රීවරිය පෙන්වා දුන්නාය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ වත්මන් ක්‍රියාකලාපය දැඩි දෝෂදර්ශනයට ලක් කළ රෝහිණි විජේරත්න මහත්මිය, මෙම මොඩියුලවල පවතින අඩුපාඩු වසන් කරමින් ගුරුවරුන් පුහුණු කිරීමට රජය උත්සාහ කළ බවට ද චෝදනා කළාය. ජාතික ජන බලවේගයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ සමලිංගිකත්වය පිළිබඳ කරුණු ඇතුළත් කර ඇත්දැයි ප්‍රශ්න කළ ඇය, මෙවැනි අමනෝඥ ක්‍රියාවලින් රජයේ දේපළ නාස්ති කරන පිරිස්වලට එරෙහිව වහාම දඬුවම් දිය යුතු බව කියා සිටියාය.

දරුවන්ට අවශ්‍ය නිල ඇඳුම් පවා නිසි වේලාවට ලබා දීමට අපොහොසත් වී ඇති අධ්‍යාපන අමාත්‍යාංශය, වර්තමානය වන විට අතිශය අවුල් සහගත මට්ටමකට පත්ව ඇති බව ඇය වැඩිදුරටත් පැවසුවාය. අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පවතින මෙම පරිපාලනමය දුර්වලතා හේතුවෙන් සමස්ත ශිෂ්‍ය පරපුරේම අනාගතය අවදානමකට ලක්ව ඇති බව මන්ත්‍රීවරිය පෙන්වා දුන් අතර, මේ සම්බන්ධයෙන් රජය වහාම වගකීම භාරගත යුතු බව ද අවධාරණය කළාය.

Related posts

අන්තර්ජාලයෙන් මුදල් වංචා කර රට වටේ ගේම් දුන් ගාල්ලේ තරුණයෙකු පොලීසියට කොටුවෙයි

Shiran Viraj

2026 T20 ලෝක කුසලානයට පෙර එංගලන්තය ශ්‍රී ලංකා සංචාරයකට

Shiran Viraj

ලසිත් මාලිංග අද පිටියට

Shiran Viraj
Translate »