නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හය ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුලයට නුසුදුසු වෙබ් අඩවි සබැඳියක් ඇතුළත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, එහි වගකීමෙන් තමන් නිදහස් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි. “අපි නෙවෙයි සිලබස් එක හැදුවේ, අපි නෙවෙයි පින්ට් එකට ඇරියේ” යනුවෙන් පවසමින් ඔහු සඳහන් කළේ, සිද්ධිය වූ පසු පොලිසියට පැමිණිලි කිරීමෙන් පලක් නොවන බවයි. වර්තමාන රජය ලෝක රැකියා වෙළඳපොළ කියවාගෙන ඇති ආකාරය රටට නොගැළපෙන බව ද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.
සීනිගම පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය අමතමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ, ජාතික ජන බලවේගයේ රජය බලයට පත්වීමෙන් පසු ජනතාව මත අධික බදු බරක් පැටවීම මෙන්ම ස්වාභාවික විපත්වලින් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට අපොහොසත් වීම පිළිබඳවයි. ජීවිත බේරා ගත හැකිව තිබූ අවස්ථාවලදී පවා රජය නිසි පියවර නොගත් බවත්, බොහෝ පිරිසකට නව වසර සැමරීමට සිදුවූයේ අවතැන් කඳවුරුවල සිටිමින් බවත් ඔහු පෙන්වා දුන්නේය.
ආපදාවලින් පීඩාවට පත් වූවන්ට වන්දි ලබා දෙන බවට ජනාධිපතිවරයා වූ පොරොන්දු තවමත් ඉටු කර නොමැති බව විවේචනය කළ නාමල් රාජපක්ෂ මහතා, රජය වහාම වන්දි ලබා දීමට ප්‍රමුඛත්වය දිය යුතු බවත් අවතැන් වූ පවුල් නැවත පදිංචි කිරීමට කඩිනම් පියවර ගත යුතු බවත් අවධාරණය කළේය. රජය විපක්ෂයේ ක්‍රියාමාර්ග දෙස බැලීමට පෙර ජනතාවට දුන් පොරොන්දු ඉටු කළ යුතු බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

