ඇමෙරිකා එක්සත් ජනපදය විසින් වෙනිසියුලාවට එල්ල කරන ලද ප්‍රහාරය සහ එරට ජනාධිපතිවරයා පැහැරගෙන යාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය මෙතෙක් නිල ස්ථාවරයක් ප්‍රකාශ කිරීමට අපොහොසත් වී ඇත්තේ පසුගිය වසරේ ඇමෙරිකාව සමඟ ඇති කරගත් ආරක්ෂක ගිවිසුම නිසා විය හැකි බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි. වත්මන් රජය එක්සත් ජනපදය සමඟ ආරක්ෂක අවබෝධතා ගිවිසුමකට එළඹ ඇති පසුබිමක, ඇමෙරිකාවේ ක්‍රියාවන්ට එරෙහිව සෘජු ස්ථාවරයක් ප්‍රකාශ කිරීමට රජයට ඇති හැකියාව සැක සහිත බව ඔහු අවධාරණය කරයි.
ස්වෛරී රාජ්‍යයක් වන වෙනිසියුලාවේ ජනතාවගේ ඡන්දයෙන් පත්වූ ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ පැහැරගෙන යාම ජාත්‍යන්තර නීතියේ සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ බරපතල උල්ලංඝනය කිරීමක් බව සමරනායක මහතා පෙන්වා දෙයි. මෙම ක්‍රියාව මගින් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ දෙවන වගන්තියේ සඳහන් මූලධර්ම හතෙන් පහක්ම සෘජුවම උල්ලංඝනය වී ඇති බවත්, විශේෂයෙන්ම වෙනත් රටකට එරෙහිව අවි බලය භාවිත නොකිරීමේ මූලධර්මය මෙහිදී අමුඅමුවේ කඩ කර ඇති බවත් ඔහු පවසයි.
රජයේ ප්‍රධාන පාර්ශ්වකරුවකු වන ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය මෙම ප්‍රහාරය හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කර ඇතත්, එය රජයේ හෝ විදේශ අමාත්‍යාංශයේ නිල ස්ථාවරය ලෙස සැලකිය නොහැකි බව හෙතෙම පෙන්වා දෙයි. “අධිරාජ්‍යවාදයට විනාශය” යන සටන් පාඨය සමඟ දේශපාලනය ආරම්භ කළ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මෙම රජයට, ඇමෙරිකාවේ මෙම ක්‍රියාව හෙළා දැකීමේ සදාචාරාත්මක වගකීමක් පවතින බව ඔහු සඳහන් කරයි. මෙවැනි තීරණාත්මක අවස්ථාවක නිහඬව සිටීම ශ්‍රී ලංකාවේ විදේශ සබඳතාවලට සහ රජයේ ප්‍රතිරූපයට බලවත් කැලලක් විය හැකි බවට ද ඔහු අනතුරු අඟවයි.

