2026-01-16
mediahumanrights.lk
Local NewsNews

නව අධ්‍යාපන මොඩියුලවල පවතින අනෙකුත් වෙබ් අඩවි සබැඳි පිළිබඳව ද දැඩි සැකයක් පවතින බව උලපනේ සුමංගල හිමියෝ පවසති

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ මුද්‍රණය කර ඇති මොඩියුල පොත්වල අධ්‍යාපනික වශයෙන් සුදුසු බවට සහතික නොකළ වෙබ් අඩවි රාශියක නම් ඇතුළත් කර ඇතැයි ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති. “වැඩිදුර ක්‍රියාකාරකම් වෙනුවෙන්” යනුවෙන් සඳහන් කරමින් සෑම මොඩියුලයකම මෙලෙස වෙබ් අඩවි සබැඳි මුද්‍රණය කර ඇති අතර, ඒවායේ සුදුසු නුසුදුසු බව පිළිබඳව ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ දෙමාපියන් මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ප්‍රශ්න කර සිටින බව උන්වහන්සේ සඳහන් කළහ.

පළමු ශ්‍රේණියේ පළමු වාරය සඳහා නිකුත් කර ඇති මොඩියුලයේ පමණක් QR කේත 41ක් අඩංගු වන බව පෙන්වා දෙන සුමංගල හිමියෝ, එම කේත හරහා පිවිසෙන අඩවිවල අසභ්‍ය දෑ අඩංගු නොවන බවට කිසිදු වගකිවයුතු නිලධාරියෙකු සහතිකයක් ලබා දී නොමැති බව අවධාරණය කළහ. හය ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය හැර අනෙකුත් විෂයන් සඳහා නිකුත් කර ඇති මොඩියුලවල නුසුදුසු වෙබ් අඩවි ඇතුළත් නොවන බවට අධ්‍යාපන අමාත්‍යාංශය හෝ ජාතික අධ්‍යාපන ආයතනය මෙතෙක් තහවුරු කර නොමැති වීම බරපතල ගැටලුවක් බව ද උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියහ.

පෙළපොතක් මුද්‍රණය කිරීමේදී ජාතික අධ්‍යාපන ආයතනයේ කණ්ඩායම් අටක් විසින් දෙවරක් නිරීක්ෂණය කරන ක්‍රමවේදයක් පවතින පසුබිමක, හය ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට අසභ්‍ය වෙබ් අඩවියක් ඇතුළත් වීම හුදු අහම්බයක් විය නොහැකි බව උන්වහන්සේ පවසති. මෙවැනි නුසුදුසු අන්තර්ගතයන් ඇතුළත් කර ඇත්තේ අමාත්‍යාංශයේ ඉහළ මැදිහත්වීමක් සහිතව වුවමනාවෙන්ම බවට සැක කරන බවත්, තමන් වහන්සේ එම පොත් නිරීක්ෂණය නොකළේ නම් ඒවා ජනවාරි 05 වැනිදා වන විට සිසුන් අතට පත්වීමට නියමිතව තිබූ බවත් උන්වහන්සේ පැහැදිලි කළහ.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති වැඩමුළුවකදී ද සියලුම මොඩියුල පොත් ලබා දෙන බවට පොරොන්දු වී පසුව විද්‍යාව පොත පමණක් ලබා දීමෙන් නිලධාරීන් යමක් සැඟවීමට උත්සාහ කළ බව ද උන්වහන්සේ චෝදනා කරති. මෙම වැඩමුළුවේදී අනෙකුත් පොත් ලබා නොදීම සම්බන්ධයෙන් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් විරෝධය පළ කළ බවත්, ඒ හේතුවෙන් එම වැඩමුළුව අතරමග කඩාකප්පල් වූ බවත් සුමංගල හිමියෝ මෙහිදී අනාවරණය කළහ.

Related posts

රන්ජන් රාමනායක පොලිස් අත්අඩංගුවට

Shiran Viraj

ආණ්ඩුවේ ප‍්‍රබල නායකයෙකු මිය ගිය බවට වාර්තා…

Shiran Viraj

සංස්ථාවේ ඉන්ධන තොග අවසන්..? එක තෙල් නැවක් ගෙන්න රටේම ඩොලර් නෑ… LC රිටන් වුනොත් තෙල්, ගෑස් කදුලක්වත් නෑ..

Shiran Viraj
Translate »