23.4 C
Colombo
2026-02-11
mediahumanrights.lk
International NewsNews

ඉරාන විරෝධතා මර්දනයෙන් 12,000ක් මියගිය බවට වාර්තා – අන්තර්ජාලය සහ මාධ්‍ය සම්පූර්ණයෙන්ම අඩපණ කෙරේ

ඉරානය පුරා පසුගිය දිනවල පැවැති දැවැන්ත විරෝධතා මැඩපැවැත්වීම සඳහා ආරක්ෂක අංශ ක්‍රියාත්මක කළ දරුණු මර්දනය හමුවේ අවම වශයෙන් පුද්ගලයන් 12,000ක් පමණ මියගොස් ඇති බව විදේශීය මාධ්‍ය වාර්තා කරයි. Iran International පුවත් සේවය පෙන්වා දෙන්නේ මෙම ඝාතන අහඹු සිදුවීම් නොව, උත්තරීතර නායක අලි කමේනිගේ සෘජු නියෝග මත සහ රජයේ ඉහළ පෙළේ අනුමැතිය ඇතිව සිදු වූ සැලසුම් සහගත මෙහෙයුමක් බවයි. විරෝධතාකරුවන්ට එරෙහිව සජීවී උණ්ඩ භාවිතා කරන ලෙස නියෝග කර ඇති අතර, මියගිය පිරිසෙන් බහුතරයක් වයස අවුරුදු 30ට අඩු තරුණයන් බවත් ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) සහ බසීජ් හමුදා මෙම ප්‍රහාරවලට සම්බන්ධ බවත් හෙළි වී තිබේ.

මෙම මනුෂ්‍ය ඝාතන පිළිබඳ තොරතුරු ලෝකයෙන් වසන් කිරීම සඳහා ඉරාන රජය දැඩි වාරණ පනවා ඇත. ජනවාරි 8 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එරට අන්තර්ජාලය සම්පූර්ණයෙන්ම පාහේ විසන්ධි කර ඇති අතර ජංගම දුරකථන ජාල ද අඩපණ කර තිබේ. ආරක්ෂක අංශ විසින් නිවෙස්වල ඇති චන්ද්‍රිකා ඇන්ටනා සහ පෞද්ගලික CCTV කැමරා දත්ත පවා බලහත්කාරයෙන් අත්පත් කර ගනිමින් සිටින බව වාර්තා වේ. පුවත්පත් සිය ගණනක් වසා දමා ඇති අතර, දැනට ක්‍රියාත්මක වන්නේ රජයේ පාලනයට යටත් මාධ්‍ය ආයතන කිහිපයක් පමණක් බව ද වාර්තාවල සඳහන් වේ.

මෙම තත්ත්වය හමුවේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි අනතුරු ඇඟවීමක් කරමින් පවසා ඇත්තේ විරෝධතාකරුවන් මර්දනය කිරීම දිගින් දිගටම සිදු වුවහොත් ඉරානයට ප්‍රහාර එල්ල කරන බවයි. කෙසේ වෙතත්, රුසියාව දිගින් දිගටම ඉරාන රජය වෙත සිය සහයෝගය පළ කරමින් සිටින අතර විරෝධතාකරුවන් හඳුනා ගැනීමට සහ මර්දනය කිරීමට අවශ්‍ය උසස් තාක්ෂණික උපකරණ මෙන්ම ඔත්තු බැලීමේ සහාය ද රුසියාව විසින් ලබා දෙන බව වාර්තා වේ. මෙම තත්ත්වය කලාපීය සහ ගෝලීය දේශපාලන ස්ථාවරත්වය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරමින් පවතී.

Related posts

මධ්‍යම පළාත් සභාව පොලිතීන් තහනම් කරන්න සැරසෙයි

Shiran Viraj

සභාපතිවරයෙක් ඉල්ලා අස්වේ….

Shiran Viraj

අදත් හවස 2න් පස්සේ දිවයිනේ බොහෝ තැන්වලට වැස්ස

Shiran Viraj
Translate »