2025-12-08
mediahumanrights.lk
NewsPolitical

‘ජනාධිපතිට බනින අය ඇල්ලුවොත් පාසල් බන්ධනාගාර කරන්න වෙනවා’ – නීති විරෝධී නියෝග ගැන උදය ගම්මන්පිලගෙන් සුනිල් වටගලට තියුණු පිළිතුරක්

පිවිතුරු හෙළ උරුමය (PHU) පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා, මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා හදිසි නීතිය යටතේ ජනාධිපති විවේචනය කරන්නන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට දීම නීති විරෝධී බව පවසමින් දැඩිව විවේචනය කළේය.

‘ආණ්ඩුවට ලෝක අමාරුවක්’: ජනතාවගෙන් 80%ක් ජනපති විවේචනය කරයි

ගම්මන්පිල මහතා අවධාරණය කළේ, වත්මන් තත්ත්වය තුළ විවේචකයන් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළහොත් ආණ්ඩුව බරපතළ අර්බුදයකට මුහුණ දෙනු ඇති බවයි:

“ජනාධිපතිතුමාට බනින අයව අත්අඩංගුවට ගන්න ගියොත් ආණ්ඩුව ලොකු අමාරුවක වැටෙනවා. එහෙම කළොත් ඒ අයව රඳවා ගන්න පාසල් වහලා සෑම පාසලක්ම බන්ධනාගාරයක් බවට පත් කරන්න වෙනවා. මොකද දැන් ලංකාවේ ජනගහනයෙන් 80%කට වැඩි පිරිසක් ජනාධිපතිට බනිනවා.”

වටගලගේ නියෝග නීති විරෝධී වීමට හේතු 4ක්

නීතිඥවරයෙකු ලෙස ගම්මන්පිල මහතා පෙන්වා දුන්නේ, නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නියෝගය කිහිප ආකාරයකින් නීතිය ඉදිරියේ වලංගු නොවන බවයි:

  1. බලතල නොමැතිකම: මහජන ආරක්ෂක ඇමතිවරයා විසින් නිල ගැසට් පත්‍රයකින් බලතල පවරා නැති බැවින්, වටගල මහතාට පොලිසියට නියෝග දීමට කිසිම බලයක් නැත. ඔහු හුදෙක් නමට නියෝජ්‍ය ඇමතිවරයෙක් පමණි.
  2. සත්‍ය කීම අපහාසයක් නොවේ: ජනතාව චෝදනා කරන්නේ ආපදා තත්ත්වය කළමනාකරණය නොකිරීම පිළිබඳ සත්‍ය කරුණු මත බැවින්, ඇත්තක් කීම අපහාසයක් නොවේ.
  3. සාපරාධී අපහාස නීතිය අහෝසිවීම: 2002න් පසු ලංකාවේ සාපරාධී අපහාස නීතිය අහෝසි වී ඇති බැවින්, අපහාසයක් සිදු කළත් ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත නොහැක.
  4. ව්‍යවස්ථාමය අයිතිය: හදිසි නීතිය යටතේ වුවද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) වගන්තියෙන් තහවුරු කර ඇති අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අත්හිටුවිය නොහැක.

ගම්මන්පිල මහතා සඳහන් කළේ, තමා විසින් ආණ්ඩුවේ නොසැලකිල්ල නිසා මහ විපත සිදු වූ බවට කරුණු 14ක් ඉදිරිපත් කළ බවත්, “පුළුවන් නම් මාව අත්අඩංගුවට අරන් පෙන්වන්න” කියා නියෝජ්‍ය අමාත්‍යවරයාට ප්‍රසිද්ධියේ අභියෝග කළ බවත්ය.

ඔහු අවසාන වශයෙන් පැවසුවේ, වටගල මහතා නීතිය පිළිබඳ උගත්කම ප්‍රදර්ශනය කිරීමට උත්සාහ කරන සෑම අවස්ථාවකම ප්‍රදර්ශනය වන්නේ “නූගත්කම” බවත්, එබැවින් ‘නීතිඥ’ යන තනතුර භාවිතා කිරීමෙන් වැලකී සිටින ලෙස ද ඔහුගෙන් බැගෑපත්ව ඉල්ලා සිටින බවත්ය.

Related posts

දුම්පානය කරන්නන් ළඟින් සිටීමත් අවදානම්

Shiran Viraj

ලොකු ළූණුවලින් කෝටි 8000 අයුතු ලාභයක්.. අල, ළූණු, කිරිපිටිල වලින් මහා මංකොල්ලයක්..

Shiran Viraj

ස්වාධීන විසඳුමක් ලබාදීම සුදුසුයි

Shiran Viraj
Translate »