mediahumanrights.lk
News Political

ජනපතිතුමා ඉන්ද්‍රජාලකයෙකු තමයි…- ගම්මන්පිල

විපක්ෂයක ප්‍රධාන වගකීම වන්නේ ආණ්ඩුව බොරුවට වර්ණනා කිරීම වෙනුවට සාධනීය විවේචන ඉදිරිපත් කිරීම බවත්, වත්මන් පාර්ලිමේන්තුව තමන් නියෝජනය නොකලද විපක්ෂයේ එම වගකීම ඉදිරියටද සිදු කරන බවත් පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී පිවිතුරු හෙළ උරුමය නායකයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

ඉතිහාසය වෙනස් කරමින් මාලිමාව ලබා ගත් විශිෂ්ට ජයග්‍රහණයට අපි උණුසුම් සුබ පැතුම් එකතු කරනවා. විශේෂයෙන්ම උතුර, දකුණ, නැගෙනහිර සහ කඳුකරය එකට ගැට ගැසීමට සමත් වුණු පළමු මැතිවරණ ජයග්‍රහණය වීම ගැන අපි හදවතින්ම සතුටු වෙනවා. සමහරු ආණ්ඩු බලය ඉල්ලන විට අපි දිගටම කිව්වේ ආණ්ඩු බලය අනිවාර්රයෙන් මාලිමාවට ලැබිය යුතුයි කියලා. රටේ ස්ථාවර පාලනයක් ඇති කරන්න වගේම මාලිමාව ජනපතිවරණයට පෙර ලබා දුන් පොරොන්දු ඉටු කරන්න පාර්ලිමේන්තු බහුතරය මාලිමාවට ලැබිය යුතුයි කියලා අපි අඛණ්ඩව කිව්වා. ඒ අනුව මාලිමාවට ජයග්‍රහණය ලැබිලා තිබෙනවා. මාලිමා ආණ්ඩුවට සියළු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීමට හැකියාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි ඒ ප්‍රාර්ථනාව කරන්නේ හදවතින්මයි. මොකද ආණ්ඩුව මාලිමාවේ වුණාට රට අපේ. ආණ්ඩුව අසාර්ථක වෙනවා කියන්නේ රට ඇදගෙන වැටෙනවා කියන එකයි. රට රැක ගැනීම අපි හැමෝගේම වගකීමක්. ඒ සඳහා ආණ්ඩුවට සහය වීම අපි හැමෝගේම යුතුකමක්.

විපක්ෂයක ප්‍රධාන වගකීම වන්නේ ආණ්ඩුව බොරුවට වර්ණනා කිරීම වෙනුවට සාධනීය විවේචන ඉදිරිපත් කිරීමයි. ආණ්ඩුව වර්ණනා කලාට ආණ්ඩුවට ලැබෙන දෙයක් නෑ. නමුත් සාධනීය විවේචන ඉදිරිපත් කලොත් තමන්ගේ අඩුපාඩු සකසා ගෙන වඩාත් හොඳින් රට පාලනය කරන්න පුළුවන්. සාධනීය විවේචන කියන්නේ බොරු, මඩ සහ අවලාද වෙනුවට සාක්ෂි සහිතව තාර්කිකව ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වා දීමයි. අපි කලෙත් ඒකම තමයි.

ජනාධිපති ලේකම් සහ මහජන ආරක්ෂක ලේකම් ලෙස පත් කළ පුද්ගලයින් ඒ තනතුරු වලට සුදුසු නැති බව සාක්ෂි සහිතව පෙන්වා දුන්නා. තමන්ගේ දේශපාලන සගයින් දෙදෙනෙකු බේරා ගන්න අල්විස් වාර්තාව ජනාධිපති විසින් යට ගැසීම වැරදියි කියලා පෙන්වා දුන්නා. තමන් විපක්ෂයේ දී කියූ කතා බොරු වන නිසා ඉමාම් වාර්තාව යට ගැසීම බලය අයුතු ලෙස භාවිතා කිරීමක් බව පෙන්වා දුන්නා. ආණ්ඩුව පළමු සති හය තුල රුපියල් ට්‍රිලියනයක් ණය අරන් කිව්වාම ආණ්ඩුවේ නායකයින් දැක්වූ ප්‍රතිචාර වලින් පෙනුනේ එතරම් දැවැන්ත මුදලක් ණයට අරන් බව ආණ්ඩුවේ නායකයින් කිසිවෙකු අපි කියන තුරු දන්නේ නැති බවයි.

ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක ද සිල්වා මාරු කරලා තමන්ට එරෙහිව තිබෙන පරීක්ෂණ වලට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ඇඟිලි ගසන බව අපි හෙලිදරව් කලා. ඒ වගේම මතුගම සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර විදුහලේ වාර පරීක්ෂණයට පක්ෂ දේශපාලනය රිංගවා ඇති ආකාරය අපි හෙලිදරව් කලා. ඒක තමයි වගකිවයුතු විපක්ෂයක කාර්යභාරය. වත්මන් පාර්ලිමේන්තුවේ අපි නැතත් විපක්ෂයේ කාර්යභාරය ඉටු කරමින් රට වෙනුවෙන් අපේ වගකීම වෙනදා වගේම අපි ඉටු කරනවා.

මාලිමාවේ ඡන්ද නම් ජනාධිපතිවරණයේ දී ලබා ගත්තාට වඩා පාර්ලිමේන්තු මැතිවරණයේ දී වැඩි වෙනවා. නමුත් විපක්ෂයේ පක්ෂ වල ඡන්ද නම් අඩු වෙනවා. පුළුවන් නම් ජනපතිවරණයේ දී ලබා ගත්තාට වඩා එක ඡන්දයක් හෝ වැඩිපුර අරගෙන පෙන්වන්නැයි විපක්ෂයේ පක්ෂවලට මම අභියෝග කරනවා කියලා ජනාධිපතිතුමා නොවැම්බර් 10 දා වවුනියාවේ දී කිව්වා. ඊට පිලිතුරු දෙමින් මම කිව්වේ සර්වජන බලය නම් අනිවාර්රයෙන්ම තමන්ගේ ඡන්ද වැඩි කර ගන්නවා. ආණ්ඩුවට පුළුවන් නම් තමන්ගේ ඡන්ද වැඩි කර ගන්නා මෙන් අභියෝග කරනවා කියලා.

මම එහෙම කිව්වේ හේතුවක් ඇතිව. ලංකා ඉතිහාසයේ ජනපතිවරණයක් ආසන්නයේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වූ පස්වන අවස්ථාව තමයි පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය. මීට පෙර ජනපතිවරණයට වඩා පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජයග්‍රාහකයාගේ ඡන්ද වැඩි වුණේ 1989 දී විතරයි. ඒකට හේතුව හොර ඡන්ද තොග පිටින් දැමීම කියලා මැතිවරණ කොමසාරිස්ගේ වාර්තාවේම කියනවා. 2010, 2015 සහ 2020 යන මැතිවරණ වල දී ජනපතිවරණයට සාපේක්ෂව පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජයග්‍රාහකයා ලැබූ ඡන්ද ගණන අඩු වෙලා තිබෙනවා. මම එදා ජනපතිතුමාට අභියෝග කලේ ඒ ඓතිහාසික කාරණය පදනම් කරගෙන. නමුත් මගේ අභියෝගය බාර ගනිමින් ජනාධිපතිතුමා මාලිමාවේ ඡන්ද ලක්ෂ 56 සිට ලක්ෂ 69 දක්වා ලක්ෂ 13කින් නැතිනම් 23%කින් වැඩි කරගෙන තිබුණා. එතුමාටත් වඩා හොඳින් ඒක කලේ අපි. සර්වජන බලය 122,000 සිට 178,000 දක්වා ඡන්ද 56,000කින් නැතිනම් 46%කින් ඡන්ද වැඩි කරගෙන තිබෙනවා. ඒ වගේම පොහොට්ටුවත් ඡන්ද 8,000කින් නැතිනම් 3%කින් තමන්ගේ ඡන්ද වැඩි කරගෙන තිබෙනවා. ඒ නිසා ජනාධිපතිතුමාතමන්ගේ පොරොන්දුව ඉටු කළාටත් වඩා හොඳින් අපි අපේ පොරොන්දුවත් ඉටු කරලා තිබෙනවා. ඒ කියන්නේ දැන් අභියෝග දෙක සමයි.

ජනාධිපතිතුමා ජයග්‍රහණයෙන් පසු කළ පළමු කතාවේ දී මම ඉන්ද්‍රජාලකයෙකු නොවෙමි කිව්වාට එතුමා කියලා තිබෙන්නේ බොරුවක්. ඇත්තෙන්ම එතුමා ඉන්ද්‍රජාලකයෙකු තමයි. ඉතිහාසයේ ප්‍රථම වරට ජනපතිවරණයේ දී ලබා ගත් ඡන්ද ගණනට වඩා පාර්ලිමේන්තු මැතිවරණයේ දී ලබා ගත් ඡන්ද ගණන වැඩි කරලා පෙන්නුවා. ඊටත් වඩා වැදගත්. ඉතිහාසයේ ප්‍රථම වරට උතුර, දකුණ, නැගෙනහිර සහ මධ්‍යම කියන පලාත් හතරම එක පක්ෂයකින් ජයග්‍රහණය කරලා පෙන්නුවා. ඉන්ද්‍රජාලකයා කියන්නේ කරන්න බෑ කියලා විශ්වාස කරන දේවල් කරලා පෙන්වන කෙනා. එහෙම බැලුවාම ජනපතිතුමා ඉන්ද්‍රජාලකයෙකු තමයි.

– Media unit

Related posts

ජනපති සජිත්ගේ අගමැති කිරිඇල්ල බව මහනුවරදී කියයි..

Shiran Viraj

සියළු සෞඛ්‍ය සේවකයන්ට මාධ්‍ය වෙත ප‍්‍රකාශ දීම අත්හිටුවයි.. ලේකම්ගෙන් නියෝගයක්…

Shiran Viraj

මට බිරිදක් නැත්තේ බැරිකම නොවෙයි මගේ කැමැත්ත වෙන දෙයකට නිසා.. ඒ ගැන මට ආඩම්බරයි..

Shiran Viraj