mediahumanrights.lk
Local NewsNews

විල්පත්තු ප්‍රේරක කලාපයේ ‘අවුරා ලංකා’ දැවැන්ත සැනකෙලියක…

සජීව චාමිකර
ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්කර ලක්ෂයක කෝමාරිකා වගා ව්‍යාපෘතියක් ආරම්භ කරන බවට සඳහන් කරමින් නීති විරෝධී ව ඉඩම් අත්පත් කර ගෙන කෝමාරිකා වගාවන් සිදු නොකළ අවුරා ලංකා පුද්ගලික සමාගම මේ හේතුවෙන් ජනතාවගෙන් එල්ල වන ප්‍රතිවිරෝධය මැඩපැවැත්වීම සඳහා දැවැන්ත සංගීත ප්‍රසංගයක් විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ දකුණු මායිමේ අලි – ඇතුන් බහුල ව ජීවත් වන ප්‍රදේශයක් ආශ්‍රිත ව ජූලි 10 වන දා සිට දින 20 ක කාලයක් අඛණ්ඩ ව පැවැත්වීමට ක්‍රියා කරමින් සිටී.

රාජාංගනය යාය 11 පොලිස්ථානය, රාජාංගනය ප්‍රාදේශීය සභාව හා රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු කිසිදු රාජ්‍ය ආයතනයක අනුමැතියකින් තොර ව මෙම සංගීත ප්‍රසංගය රජයට අයත් භූමියක පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

දින 20 ක් රාත්‍රි කාලය පුරා මෙම සංගීත ප්‍රසංගය විල්පත්තුව ජාතික වනෝද්‍යානය මායිමේ පැවැත්වීම හේතුවෙන් එහි ජෛව ප්‍රජාව ගේ පැවැත්මට දැඩි බලපෑම් එල්ල වීම හා ගොවි පවුල් 550 ක් පමණ ජීවත් වන රාජාංගනය යාය 18 ගම්මානයේ ජනතාවට දැඩි මහජන පීඩාවක් ඇති වීමට නියමිත ය.

ඊට එරෙහි ව ගොවි සංවිධාන, ශාසනාරක්ෂක බල මණ්ඩලය පමණක් නොව ප්‍රදේශයේ පාසැල් වලින් ද රාජාංගනය පොලිස්ථානයට මේ පිළිබඳ ව දැනුම්වත් කර විරෝධතාවය පළ කර තිබේ. විශේෂයෙන් රාජාංගනය, යාය 13, 14 මහසෙන් ජාතික පාසැල හා පහළ මාරගහවැව විද්‍යාලය පොලීසිය වෙත විරෝධතා ඉදිරිපත් කර තිබේ. නමුත් කිසිදු රාජ්‍ය ආයතනයක අනුමැතියකින් තොර ව බලහත්කාරයෙන්, මැර බය හා ව්‍යාපාරික බලය භාවිත කර විරෝධතාවය පළ කරන ජනතාවට මැර තර්ජන එල්ල කරමින් රටේ නීතියේ ආධිපත්‍යය සම්පූර්ණයෙන් ම උල්ලංඝනය කර මෙම සංගීත ප්‍රසංගය පැවැත්වීමට සූදානම් වේ.

ඒ සඳහා ශ්‍රී ලංකා පොලීසිය, ශ්‍රී ලංකා නාවික හමුදාව හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් සංගීත කණ්ඩායම් ද සහභාගී කර ගෙන මේ නීති විරෝධී ප්‍රසංගයට ජනතාවගෙන් එල්ල වන ප්‍රතිවිරෝධය “රණවිරුවන්” මත පදනම් ව සාධාරණීකරණය කර ගැනීමට ද උත්සාහ ගනිමින් සිටී.
පසුගිය කාලය පුරා ම හිටපු ඉඩම් කොමසාරිස් ජනරාල්, පොලීසිය හා එස්, එම්. චන්ද්‍රසේන වැනි දේශපාලඥයන් ඇතුළු බොහෝ පිරිසකට විශාල මුදල් ප්‍රමාණයක් ලබා දී කෝමාරිකා වගා ව්‍යාපෘතියකට යැයි සඳහන් කරමින් ඉඩම් අත්පත් කර ගැනීම සිදු කළ මෙම සමාගමේ චන්දික විරන්ජිත් තාබුගල නම් සභාපතිවරයා වෛද්‍යවරයකු ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් නාමික ව්‍යාපාර ගණනාවක හිමිකරුවකු ලෙස ද සඳහන් කරමින් සියලු රාජ්‍ය නිලධාරීන් මුලා කර තිබේ.

මේ සංගීත ප්‍රසංගය පැවැත්වීම සඳහා ද පොලීසිය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවකට මුදල් ලබා දීම හේතුවෙන් නීති විරෝධී ව සංගීත ප්‍රසංගය පැවැත්වූව ද ඊට විරුද්ධ ව ක්‍රියාත්මක වීමට පොලීසිය ඇතුළු කිසිදු රාජ්‍ය ආයතනයක් මැදිහත් වීම සිදු නොකරයි.

විශේෂයෙන් අප අවධාරණය කර සිටින්නේ මහජන පීඩාකාරී තත්ත්වයන් ඇති කරමින්, විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ වන සතුන් ගේ පැවැත්මට බලපෑම් ඇති කරමින් නීති විරෝධී ව පවත්වන මෙම සංගීත ප්‍රසංගය නතර කිරීමට සියලු පාර්ශව මැදිහත් විය යුතු ව ය.

සජීව චාමිකර
ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

Related posts

සමාජ ජාලා වාරණය ඉවත් කෙරේ…

Shiran Viraj

මගේ මේකප් ගැන ඩේසි අක්කා උනන්දු වුණු හැටි අද වගේ මතකයි අතීත මතක පෙළගස්වන අග්‍රගණ්‍ය සිනමා නිළිමාලිනී ෆොන්සේකා

Shiran Viraj

සභා දෙකක බලය පෙරලේ.. ශ‍්‍රීලනිපයත් පොහොට්ටුවට විරුද්දව තරග කරයි..

Shiran Viraj
Translate »