mediahumanrights.lk
NewsPolitical

තෙල් මිල ඉහළ යාමෙන් ජනතාව දැඩි අපහසුතාවයෙන්.. සහන දෙන හැටි ජනපති කියයි..

මගී ආකර්ෂණය ඇතිවන ආකාරයට පොදු ප්‍රවාහන සේවා වඩාත් විධිමත්ව හා ගුණාත්මකව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි.

තෙල් මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටිති. ඒ සමග පොදු ප්‍රවාහනය සඳහා වැඩි ඉල්ලුමක් පවතින බවත් ඊට පහසුකම් සැලසීමෙන් ජනතාවට සහනයක් සැලසෙන බව ද ජනාධිපතිතුමා පැවසීය.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචනය පිළිබඳ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී (09) පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව කියා සිටියේය.

දුම්රිය හා බස් රථ සඳහා අඛණ්ඩව තෙල් සැපයීමේ ක්‍රමවත් වැඩපිළිවෙළක අවශ්‍යතාව දීර්ඝව සාකච්ඡාවට ලක් කෙරිණ. ගමනාගමන මණ්ඩලයට අයත් ඉන්ධන හල් මගින් රාත්‍රී කාලයේ පුද්ගලික බස් රථ සඳහා ඉන්ධන සැපයීමට පියවර ගැනීමට ද තීරණය විය.

Park & Drive ක්‍රමය ව්‍යාප්ත කිරීමටත් ඒ සඳහා රථවාහන ගාල් කිරීමේ දී අයකරන ගාස්තු අඩු කිරීමටත් තීරණය කරනු ලැබීය. තෝරාගත් දුම්රිය ස්ථාන ආසන්නයේ රථවාහන ගාල් කිරීමේ පහසුකම් සැලසීමේ හැකියාව සොයා බලන ලෙස ද ජනාධිපතිතුමා පැවසීය.

ලංගම සහ පෞද්ගලික බස්රථ සඳහා දැනට ක්‍රියාත්මක ඒකාබද්ධ කාලසටහන් ක්‍රමය කෙටි ධාවනය සඳහා යොදාගැනීමටත් යෝජනා කෙරිණ. කාර්යාල සේවය ඉලක්ක කරගනිමින් නව දුම්රිය ගමන් වාර ඇරඹීමට සහ දැනට ධාවනය කෙරෙන දුම්රිය සඳහා මැදිරි සංඛ්‍යාව වැඩි කිරීමටත් පියවර ගැනේ.

ලංගම සේවක වැටුප් ගැටලුව විසඳීමට එකඟතාව පළ වූ අතර ඊට අදාළ කැබිනට් පත්‍රිකාව නුදුරේදීම ඉදිරිපත් කිරීමට ද තීරණය කෙරිණ.

දුම්රිය දෙපාර්තමේන්තුව සතු රක්ෂිත ඉඩම් ආහාර භෝග වගා සඳහා වසරක කාලයකට බදු දීමට සැලසුම් කර තිබේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ගොවි සමිති සඳහා ඉතා සුළු බදු මුදලක් යටතේ අදාළ ඉඩම් ලබාදීමට සැලසුම් කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක, අමාත්‍යාංශ ලේකම් ආර්.ඩබ්.ආර්. පේමසිරි යන මහත්වරු, රේඛීය ආයතන ප්‍රධානිහු, පෞද්ගලික බස් සංගම් නියෝජිතයෝ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

Related posts

මව ඝාතනය කර හදවත ආහාරයට ගත් සිත්පිත් නැති අජාසත් පුත්‍රයා

Shiran Viraj

උමා ඔය ජනතාවට සහන දෙන්න වන සංහාරයකට වරදකරුව මාස 06ක සිර දඬුවම් ලැබූවෙක් පත්කරයි

Shiran Viraj

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 29ක තානාපතිවරුන් යළි කැඳවයි

Shiran Viraj
Translate »