28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
News Political

මට අස්වෙන්නැයි ජනපති කිවුවෙ නෑ.. කියන එකකුත් නෑ..- අගමැති

ජනාධිපතිවරයා කිසිවිටක මට ඉල්ලා අස්වෙන්න කිව්වෙත් නැහැ. කියන්නෙත් නැහැ කියලා මට විශ්වාස යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ප්‍රාදේශීය සභා සභාපතිවරු, නගරාධිපතිවරු සහ දිස්ත්‍රික් නායකයන් සමඟ අරලියගහ මන්දිරයේ අද (27) පැවැති හමුවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.

විදේශ ආධාර ලබාගෙන හෝ අපි රට ගොඩ නගන්න අවශ්‍ය වැඩ පිළිවෙල ඉටු කරනවා යැයි ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු නැතැයි ප්‍රාදේශීය සභා සභාපතිවරු හා නගරාධිපතිවරු මෙහිදී ඒකමතික යෝජනාවක් සම්මත කළහ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රාදේශීය සභා සභාපතිවරුනගරාධිපතිවරු සහ දිස්ත්‍රික් නායකයන් අමතා කළ සම්පූර්ණ කතාව මෙසේය.

මං හිතන්නේ අපට පසුගිය කාලයේ එච්චර වේලාවක් හම්බවුණේ නෑ මුණගැහිලා සුහඳව සාකච්ජා කරන්න. නමුත් අද අපිට පුළුවන්කම තිබෙනවා මුණගැසිලා රටටත් ජනතාවත් හමුවේ තිබෙන ප්‍රශ්න පිළිබඳව සාකච්ජා කරන්නට අවස්ථාව ලැබෙනවා. සමහරුන්ගෙ යෝජනාත් ආවා විසඳුම් සොයන ක්‍රියාමාර්ග ගැන කථා කරන්න.

නමුත් අද රට තුළ තිබෙන්නෙ ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයක් කියල තමුන්නාන්සේලා දන්නවා.  ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්න අපට සිද්ධ වෙලා තියෙනවා එකපැත්තකින්.

ඉතිහාසයේ පටන් ආ විවිධ හේතු මත මේ තත්ත්වය නිර්මාණය වුණා. ජනතාව මේ අර්බුදයෙන් මුදා ගැනීමේ වගකීම වර්තමානයේ අපිට තියෙනවා. ඒ නිසා අපි ඒ වෙනුවෙන් එකාවන්ව වැඩ කළ යුතුයි කියල මම විශ්වාස කරනවා.

අපි මේ ආණ්ඩුව භාරගන්නකොට හැම අතින්ම බිඳ වැටුණු රටක් තමයි අපි භාරගත්තේ. ඒ වෙලාවේ ආර්ථිකය විතරක් නෙමෙයි ජාතික ආරක්ෂාව ගැනවත් එදා ජනතාවට විශ්වාසයක් තිබුණෙ නැහැ. වැඩිපුරම ජනතාව ඉල්ලුවේ අන්තවාදී හෝ ත්‍රස්තවාදී බෝම්බ පුපුරන්නෙ නැති රටක් හදලා දෙන්න කියලා. මම හිතන්නේ අද වන විට අපි ඒ ඉල්ලීම අකුරටම ඉෂ්ඨ කරලා තියෙනවා.

මුඩු බිමක් වෙච්ච රටක් නැවත සංවර්ධන මාවතට ගෙන එන්න විශාල වැඩකොටසක් අපි අතින් සිදුවුණා කියන එක තමුන්නාන්සේලා පිළිගන්නවා ඇති.

ඔය අතරෙ තමයි අපිට  පහුගිය කාලේ කොවිඩ් වසංගතය මුහුණ දෙන්න වුනේ. මුළු ලෝකෙම මේ වගේ වසංගතයක් ගැන ඊට කලින් දැනගෙන හිටියෙ  නැහැ කියල මම හිතනවා. මේ අභියෝගය අපිටත් අලුත්. එහෙත් අපි  ඔබ සියලු දෙනාගේ සහය ඇතිව ඊට සාර්ථකව මුහුණ දුන්නු බව ඔබ දන්නවා. දියුණු රටවල ලක්ෂ ගණනින් මියැ‍දෙද්දි, අපේ රටේ කොව්ඩ් මරණ ප්‍රතිශතය ඉතා අඩු අගයක් තියාගන්න අපට පුළුවන් වුණා.

ඔබට මතක ඇති වෛද්‍යවරුන්, හෙද හෙදියන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩල, හමුදාව ඇතුළු ආරක්ෂක අංශ ඒ වෙනුවෙන් වෙහෙසෙන කොට ඔබත් ඊට විශාල දායකත්වයක් දුන්නු බව ඔබ දන්නවා.  සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපඳිමින් ජනතාවත් ඊට සහය වුණා.මේක සම්පූර්ණයෙන්ම රටෙන්  තුරන් නොවුනත්, මේ කොවිඩ් වසංගතයෙන් මුළු රට වැසියන් ආරක්ෂාකර ගන්න රජයක් විදියට අපටත් පුළුවන් වුණා.

එහෙත් එදා ජනතාව අතර තිබුණ සටන් පාඨය නෙමෙයි අද තියෙන්නෙ. එදා එන්නත් කෝ කියලා ඇහුවා. හොඳ එක නැද්ද ඇහුවා, එක්තරා කොටසකට විතරද දෙන්නෙ ඇහුවා. ඒකත් දුන්නම අන්තිමට එන්නත විදගන්න එන්නෙ නැතිව එන්නත් ඉතිරිවෙන තැනට රට පත්වුණා.

හැබැයි ගෙවල්වල හිරවෙලා හිටපු ජනතාව නැවත දෛනික ජීවිතයට ගෙන ඒමේ අභියෝගය අපි ජයගත්තා. අද ඒ අයගෙන් ඉතා සීමිත කොටසක් විතරයි  ගෝල්ෆේස් පිට්ටනියට ඇවිල්ලා තියෙන්නේ. එතැන්ට ඇවිත් කියනවා අපිට යන්න කියල. අපි හැමෝම මේ තැන්වලට පත්වෙන්නෙ ජනතාවගේ පරමාධිපත්‍ය බලයෙන්. ඒ ගෞරවය ජනතාවට අදත් තිබෙනවා. ජනතා පරිමාධිපත්‍ය බද්ධවෙලා තියෙන්නෙ රටේ ව්‍යවස්ථාවට. ජනතාව අපව පත්කළේ රට අර්බුදයක තියලා ඉවත්වෙලා යන්න නෙමෙයි.

චෝදනා නම් ඕන තරම් කරන්න පුළුවන්. හැබැයි ඒවා ඔප්පු කරන්නත්  ඕන.  එහෙම නැතිව ව්‍යවස්ථාවටත් පිටුපාලා, මේ රට අරාජික කරල අපිට එහෙම යන්න පුළුවන් කමක් නැහැ.

අපි කවදාවත් ඉතිහාසයේ අභියෝගවලින් පැනලා ගියපු මිනිස්සු නම් නොවන බව ඔබට අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ. මේ ආර්ථික අභියෝගය හමුවෙත් අපි පැන යන්නෙ නෑ. අපට කෙටි කාලීන හා දිගු කාලීන ආර්ථික කළමණාකරන ප්‍රතිපත්තියක් තියෙනවා.මේ අභියෝගය ඒ අනුව ජයගන්න පුළුවන් කියලා විශ්වාසයකුත් අපට තියෙනවා.

මහ බැංකුව ඇතුළු රාජ්‍ය මූල්‍ය ආයතන සඳහා ජනතාව පිළිගත් ප්‍රධානීන් පත්කරගන්න පහුගිය කාලේ අපට පුළුවන් වුණා. පසුගියදා  චීන අග්‍රාමාත්‍යවරයාට දුරකථනයෙන් කතා කළා. චීනයේ සහයෝගය අපිට  ලබාදෙන්න එතුමා පොරොන්දු වුණා.  ඒ විතරක් නෙමෙයි මිත්‍ර රටවල් රැසක් සමඟ මම සාකච්ඡා කළා. එහි  ප්‍රතිඵල විදියට ඔවුන් මේ වනවිටත් අපට උදව් කරන්න පටන් අරන් තියෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා ලංකාවේ ඇතිවුණ තත්ත්වය පෙන්වලා දුන්නම ඔවුන් අපට අවශ්‍ය ආධාර ලබා දෙන්න දැන් එකඟතාව පළ කරලා තියෙනවා. අපේ මුදල් ඇමති අලි සබ්රි මැතිතුමා ගිහිල්ල ඒ කටයුත්ත ඉටුකළා. අයි.එම්.එෆ් ගිය නිලධාරීන් එක්ක මම සාකච්ඡා කළා. අපි ගැන ඔවුන් විශ්වාසයක් තබලා තියෙනවා. හැබැයි අපි ඔවුන්ගේ යම් යම් ඉල්ලීම්වලටත් ඇහුම්කම් දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒවා අපි අනුගමනය කරමින් අපි ඉදිරියට යන්න ඕනේ. රට ගොඩ නගන්න ඕනේ. විදේශ ආධාර ලබාගෙන හෝ අපි රට ගොඩ නගන්න අවශ්‍ය වැඩ පිළිවෙල ඉටු කරනවා.

ඒ ඒ අවස්ථාවලදී තමයි සමහරු මේ එහාට මෙහාට ගිහිල්ල හොල්මන් කරන්නේ.  ඉතින් ඒ  හොල්මන්වලට බයනම් සොහොනේ ගෙවල් හදන්නේ නැහැ කියනවනේ. ඒ  වගේ අය දැකල තියෙනවා. ඉතින් අපි බලාගෙන ඉන්නවා මොනවද ඉදිරියට ඔවුන් කරන්නේ කියල.  ඒක නිසා තමුන්නාන්සේලාගේ ඒ ශක්තියත් එක්ක අපි ඒ අයට ඕනේ විදිහට රට හදන්නවත් රට ගෙනියන්නවත් එහෙම නැත්තම් අපිව නටවන්නවත් අපි ඉඩදෙන්නේ නැහැ කියන එක මම තමුන්නාන්සේලට මතක් කරනවා.

තමුන්නාන්සේලා අපි සමඟ මේ විශ්වාසය  තබල කටයුතු කිරීම ගැන ඔබට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම එක දෙයක් මට මතක් කරන්න ඕනේ ජනාධිපතිවරයා කිසිවිටක මට ඉල්ලා අස්වෙන්න කියල කියන්නෙත් නැහැ. කිව්වෙත් නැහැ කියලා. ඒ වගේම කිව්වෙත් නැහැ.කියන්නෙත් නැහැ කියල මට විශ්වාසයක් තියෙනවා. ඔබ සියලු දෙනාටම සුබ අනාගතයක් වේවා! යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

Related posts

මුළු රටම අදුරේ දමන විදුලි අර්බුදයක්… දැවිතෙල් ටොන් 2000ක සැපයුම් නෑ…

Shiran Viraj

අද සිට අඩු මිලට බිත්තර රට පුරා.. සීමා නෑ..

Shiran Viraj

පොහොට්ටුවට පිරිසිදු 2/3 බලයක්… ජාතිවාදීන්, අන්තවාදීන් නෑ.. අවසන් ප‍්‍රතිඵලය මෙන්න..

Shiran Viraj