mediahumanrights.lk
NewsPolitical

ජනාධිපතිගේ නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් කරයි..

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද දැඩි අන්තවාදි මතවාදවලින් මුදා ගැනීමේ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශේෂ්ඨාධිකරණය ඊයේ (05) අතුරු නියෝගයක් නිකුත් කළේය.

මෙම අතුරු නියෝගය ලබන 24 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි නිකුත් කරනු කර ඇත.

මෙම රෙගුලාසි ක්‍රියාත්මක වීම වළක්වා ලන අතුරු නියෝගය නිකුත් කරන්නැයි ඉල්ලා මාධ්‍යවේදීන් හා මානව හිමිකම් ක්‍රියාකාරීන් පිරිසක් විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් 3ක් සලකා බලමින් ශේෂ්ඨාධිකරණය මෙම අතුරු නියෝග නිකුත් කළේය.

මුර්දු ප්‍රනාන්දු , යසන්ත කෝදාගොඩ සහ අචල වෙංගප්පුලි යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් සලකා බැලිණි.

මාධ්‍යවේදීන් හා මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වන රුවන් ලක්නාත් ජයකොඩි , කවින්ද්‍යා ක්‍රිස්ටෝපර් තෝමස්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු හා ශිරාන් සනුර නමැත්තන් ගොනු කොට ඇති මෙම පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කරනු ලැබ සිටී.

පෙත්සම්කරුවන් සිය පෙත්සම් වලින් කියා සිටින්නේ 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය මාර්තු 12 වැනි දින නිකුත් කරන ලද අංක 2218/68 /2021 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් එම පනතේ 27 වැනි ඡේදය යටතේ අංක 01 නමින් “ දැඩි අන්තවාදි මතවාදයන්ගෙන් මුදාගැනීම් නමින් රෙගුලාසියක් ප්‍රකාශයට පත් කර ඇති බවය.

මෙම රෙගුලාසි යටතේ ඔනෑම පුද්ගලයකු අධිකරණ ක්‍රියාවලියකින් තොරව අත්අඩංගුවට ගෙන, පුනරුත්ථාපනයට යොමු කළ හැකි බවද පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.

මේ හේතුවෙන් පුද්ගලික නිදහසට දැඩි ලෙස තර්ජන එල්ල වන බවද පෙත්සම්කරුවෝ සිය පෙත්සම් වලින් කියා සිටිති.

මෙම රෙගුලාසි හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 ,11 , 12.1 ,12.2 , 13.1 ,13.2 , 13.4 , 13 .5 ,13.6 ,13.1 (ආ) , 14.1 (ඈ) සහ 17 යන වගන්තී සෘජුවම උල්ලංඝනය වන බැවින් , මෙම පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසත් , තමන්ගේත් රටේ ජනතාවගේත් මූලික අයිතිවාසිකම් කඩ වන බවට ප්‍රකාශ කරන ලෙසත් , මෙම රෙගුලාසිය ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් ලෙසත් පෙත්සම්කරුවෝ සිය පෙත්සමින් ඉල්ලා සිටිති.

– lankadeepa

Related posts

දිට්වා සුළිකුණාටුවේ බලපෑමෙන් 2026 ආර්ථික වර්ධන වේගය පහත වැටෙනු ඇතැයි පුරෝකථනය කෙරේ

Shiran Viraj

එන වසර මැද ණය වාරික ඩොලර් බිලියන හයයි.. IMF ගියොත් ඩොලරය 240 සිමාවේ.. නොගියොත් 300 පනී..

Shiran Viraj

සිරිකොත එජාප මූලස්ථානයේ අලියාට වෙඩි තැබූ පොලිස් නිලධාරියා අධිකරණයට

Shiran Viraj
Translate »