mediahumanrights.lk
NewsSportsSports News

කෝප් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මාසයක් කල් දෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් සාකච්ඡාවට ගැනුණු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීම හෙවත් කෝප් කමිටු රැස්වීම ඊයේ පස්වරුවේ අතරමග අත්හිටුවා තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් විගණන විමසුම් සඳහා නිසි සූදානමකින් තොරව එම රැස්වීමට පැමිණ තිබීම හේතුවෙන්.

2017 සහ 2018 මූල්‍ය වර්ෂ සඳහා විගණකාධිපති වාර්තාව සහ එහි වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සදහායි ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ඊයේ කෝප් කමිටුව වෙත කැදවා තිබුණේ. රැස්වීම අතරමඟ අත්හිටුවීමට පියවර ගත් කෝප් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට දැනුම් දී ඇත්තේ මාසයක් ඇතුළත අදාළ කරුණු විමසීම සඳහා සූදානම්ව කමිටුව හමුවට පැමිණෙන ලෙසයි.

කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් එහිදී කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය පරිපාලනය අවිධිමත්වීම හේතුවෙන් ගැටලු රැසක් නිර්මාණය වී ඇති බව නිරීක්‍ෂණය වූ බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ජනතා අප්‍රසාදය ඉහළ ගොස් ඇති බවත් එය එක් පාර්ශවයකට පමණක් හිමි දෙයක් නොව රටට අයත් දෙයක් බවත් කෝප් කමිටු සභාපතිවරයා එහිදී සදහන් කළා. 

2017 වසර වන විට රුපියල් මිලියන 240 කට අධික මුදලක් සදහා නිම නොකල වැඩ සදහා අදාළ කොන්ත්‍රාත් ගිවිසුම්, වැඩභාර ගැනීමේ ලිපි සහ වැඩ ආරම්භ කිරීම හා අවසන් කළ යුතු දිනයන් සම්බන්ධ ලියවිලි විගණනයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන්  කෝප් කමිටු සාමාජිකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට මෙහිදී දැඩි දෝෂාරෝපනයක් එල්ල කර තිබෙනවා.

ඒ, ඊයේ පැවති කෝප් කමිටු රැස්වීමේදී එම ලිපි ගොනු නිවැරදිව ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අපොහොසත්වීම හේතුවෙන්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික වාර්තා වසර කිහිපයක සිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ විශේෂ අවධානයක් යොමුව තිබෙනවා. එම වාර්තා වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ද කෝප් කමිටුව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට  දැනුම් දී ඇති බවයි වාර්තා වුණේ.

Related posts

මහර පිපුරුම පිටුපස බන්ධනාගාර රෝහලේ ප‍්‍රධානියෙක්

Shiran Viraj

රුපියල් 109ට වඩා වියදම් කලොත් දින්නත් ජනාධිපතිකම අහෝසියි.. ප‍්‍රජා අයිතියත් අහෝසියි..

Shiran Viraj

වසන්ත ඔබේසේකරයන් දිවි සිනමාවෙන් බැස යයි

Shiran Viraj
Translate »